පැරණි කාලයේ දී රජවරුන් බොහෝ දෙනෙකු විසින් ද රැජිනන් කිහිපදෙනෙකු විසින් ද මෙරට පාලනය කරන ලද බව ඓතිහාසික මූලාශ්‍රය පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මෙහි පැමිණි විජය කුමරු මෙරට පාලනය කළ පළමුවන රජු ලෙස එම මූලාශ්රයවල විස්තර කර තිබේ. ඔහු මෙරටට පැමිණියේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී ය.
විජය කුමරු මෙහි පැමිණීමට පෙර මෙරට ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී තිබේ. ක්‍රිස්තු පූර්ව 2400 තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදි ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවුරු වී ඇත. එවැනි සමාජයකට අවුල් වියවුල්වලින් තොරව පැවතීමට නම් ඒ සමාජය පාලනය වීමට කිසියම් ක්‍රමයක් තිබිය යුතු ය. එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුන්ගේ පැමිණිමට පෙර වකවානුවකට අයත් ය.
රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ එරටේ වෙසෙන මහජනයා විසිනි. කවරෙකුට වුව රටක් පාලනය කිරීමට පොදු මහජනතාවගේ කැමැත්ත අවශ්‍ය ය. මහජනයාගේ අප්‍රසාදය මත පාලන බලය හිමි කර ගන්නා පාලකයින්ට වැඩි කලක් එසේ රට පාලනය කිරිමට අවස්ථාවක් නොලැබුණු බව ඉතිහාසය අප වෙත පෙන්වා දෙයි. වැඩිදෙනෙකුගේ එකඟතාවෙන් පාලකයකු රට පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා නිසා එවැනි පාලකයකු හැඳින්වීමට ‘මහාසම්මත’ යන වචනය පැරණි කාලයේ පෙරදිග රටවල භාවිත කර තිබේ. එසේ ජනසම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා රජෙකු හෝ රැජිනක් විසින් පාලනය කරන භූමිප්රදේශයත්, එම පාලනයට සහභාගි වන විවිධාකාර නිලධාරි පිරිසත්, ජනතාවත් රාජ්‍යය යන නමින් හැඳින් වේ.
ඉහත විස්තර කරන ලද නිර්වචනයට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ රාජ්‍යය යන පදනම වර්ධනය වූයේ තරමක පසුකාලයක දී ය. ඒ පිළිබඳ මෙම පාඩමේ ඉදිරි කොටස්වල විස්තර කර තිබේ. මෙහි දී අවධානයට ගෙන තිබෙන්නේ එසේ රාජ්‍යයක් බිහි වීමට පෙර ශ්‍රී ලංකාවේ රට පාලනය කිරීමට අදාළව පැවති ස්වරූපය කුමක් දැ යි පැහැදිලි කිරීම ය. එම කාලය පූර්ව රාජ්‍ය සමය නමින් හැඳින්වේ.
පූර්ව රාජ්‍ය සමයේ දී මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයකු සිටියේ නැත. ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වා ගෙන යන ලද්දේ වත්පොහොසත්කම් ඇති ප්‍රභූන් පිරිසක් විසිනි. මෙරට සෙල්ලිපි ලිවීම ආරම්භ වූ කාලයේ දී මෙම ප්‍රභූවරුන් ඒම සෙල්ලිපිවල හඳුන්වා දී තිබෙන්නේ ‘පරුමක’ යන නමිනි. පරුමක යන වචනය සෑදී තිබෙන්නේ සංස්කෘත භාෂාවේ ‘ප්රමුඛ’ යන පදයෙනි. එහි තේරුම ‘ප්‍රධාන’ යන්න යි. කුඩා ප්‍රදේශයක් වුව ද පාලනය කිරීමට බලයක් හිමි වූයේ ඔවුන් ධනවත් වීමත් ඒ නිසා ම හිමි වූ බලවත්කමත් නිසා ය.
පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්‍රදේශීය පාලන බලයක් හිමිව තිබූ බව පෙන්වා දීමට උපයෝගි කර ගත හැකි සෙල්ලිපියක් දඹුල්ලට නුදුරුව පිහිටි කණ්ඩලම නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන කොත්ගල්කන්දේ දක්නට ඇත. එම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 250 ට අයත් වූවකි. එහි ඇති ගල්ගුහාවක් භික්ෂූන් වහන්සේලා වෙත පූජා කළ පරුමකයෙකු හඳුන්වා දී තිබෙන්නේ “තොට බොජක” යන නමිනි. එහි තේරුම “තීර්ථය අනුභව කරන්නා” යන්න යි. තීර්ථය යනුවෙන් හැඳින්වෙන්නේ තොටුපළ යි. අනුභව කිරීම යනුවෙන් පැරණි කාලයේ ව්‍යවහාර කරන ලද්දේ අය බදු ලබා ගැනීමත් දේපළ භුක්ති විඳීමත් ය. එසේ කළ හැක්කේ පාලන බලයක් සතු තැනැත්තෙකු හට පමණි. කණ්ඩලම සෙල්ලිපියේ දැක්වෙන පරුමකයා පැරණි කාලයේ ඒ ප්‍රදේශය පාලනය කළ තැනැත්තෙකු බව ඉන් පැහැදිලි වේ. බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙත ගුහාවක් සකස් කර පූජා කිරීමට තරම් හැකියාවක් ඔහු සතු වූයේ ද ඒ නිසා ම බව වැටහේ.
පරුමකයන් පැරණි ශ්‍රී ලංකාවේ සමාජය තුළ බිහි වූයේ කුමන ආකාරයකට දැ යි සොයා බැලීමෙන් මෙරට දේශපාලන බලය වර්ධනය වූ ආකාරය පහසුවෙන් තේරුම් ගත හැකි ය. එසේ තේරුම් ගැනීමට නම් පුරාණ කාලයේ පැවති මෙරට ග්‍රාමීය සමාජය සහ එහි ක්‍රියාකාරීත්වය සුපරීක්ෂාකාරීව හැදැරිය යුතු ය.
අවම තරමින් ක්‍රිස්තු පූර්ව 900 පමණ වන විට මෙරට ග්‍රාමීය ජනාවාස වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පැතිරී ගොස් තිබිණි. මේ ගම් සකස් වී තිබුණේ පවුල් කිහිපයකිනි. ඇතැම් විට පවුල් 1 සිට 30 දක්වා ප්‍රමාණයක් ඒවායේ ජීවත් විය. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිත වූයේ කුල යන පදය යි. මේ සෑම පවුලක ම ප්‍රධානියා හඳුන්වන ලද්දේ “ගෘහපති” යන නමිනි. ක්‍රිස්තු පූර්ව 250 සහ ඊට ආසන්න පසුකාලීන සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා තිබෙන්නේ ගහපති යන වචනයෙනි. මේ සම්බන්ධයෙන් වැදගත් වන සෙල්ලිපියක් අනුරාධපුරයේ පෙරියපුලියන්කුලම නමින් හැඳින්වෙන ප්‍රදේශයේ දකින්නට ඇත. සුමනගේ පවුලට අයත්, ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියකු භික්ෂූන් වහන්සේලාගේ සැපපහසුව වෙනුවෙන් ගල්ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බව එහි සඳහන් ය. ගමක පොදු කටයුතුවල දී එක් එක් පවුල නියෝජනය කිරීමට ඉදිරිපත් වූයේ මෙකී ගෘහපතීන් ය. සරලව කිවහොත් ගෘහපතීන් යනු පවුල් ප්‍රධානීන් ය.
පැරණි සෙල්ලිපිවල මෙන්ම අටුවාකථාවල ද ‘ග්‍රාමික’ හෝ ‘ගමික’ යන නමින් හඳුන්වන ලද පිරිසක් පිළිබඳව සඳහන් ය. ඒ පැරණි ගම්වල ජීවත් වූ ගම් ප්‍රධානීන් ය. පැරණි ගම් පැවතියේ එකිනෙකට වෙන් වෙන් වශයෙනි. ගමක් තවත් ගමකින් වෙන් වූයේ පටු කැලෑ තීරයකිනි. මෙසේ වෙන් වී පැවතීම නිසා එක් එක් ගම්වල ජීවත් වූ වැසියන් මෙම වෙන් වීම තේරුම් ගත්තේ අපේ ගම (තමන් විසූ ගම) අල්ලපු ගම (යාබදව පිහිටි ගම) සහ පිටගම් (ඈතින් පිහිටි ගම්) යනාදි වශයෙනි. ගම් අතර පැවති කටයුතුවල දී එනම් ආවාහ-විවාහ කටයුතු, භාණ්ඩ හුවමාරු කර ගැනීම් මෙන් ම විවිධ ආරවුල් විසඳීම ආදි දේ වල දී එක් එක් ගම් නියෝජනය කිරීමට ක්‍රියා කළ පුද්ගලයා ග්‍රාමික යන නමින් හැඳින්වූ බව පෙනේ. එහි තේරුම ගම් නායකයා යන්න යි.
ගමක් නියෝජනය කිරීමට නායකයකු තෝරා ගන්නා ලද්දේ ගෘහපතීන් අතරිනි. එලෙස තෝරා ගැනීමේ දී අවධානය යොමු කරන ලද්දේ ගෘහපතීන් සතු වත්පොහොසත්කම වීමට ඉඩ තිබේ. පැරණි ගමක ජීවත් වූ දිළිඳු වැසියෙක් ඊළඟ කන්නයේ ලබා දෙන පොරොන්දුව පිට ඒ ගමේ විසූ ගමිකයාගෙන් වී මල්ලක් ණයට ඉල්ලා ගත් පුවතක් ජාතකට්ඨකථාවේ දැක්වේ. ගමිකයින් යනු අන් අයට පවා උදව් කළ හැකි තරමට ධනවත් වූ පිරිසක් බව ඉන් වටහා ගත හැකි ය.
කණ්ඩායමක් නිවැරදි ආකාරයට හසුරුවා ගැනීමට නම් එම කණ්ඩායමේ පොදු විශ්වාසය දිනා ගත් පුද්ගලයෙකු ඊට නායකත්වය ලබා දිය යුතු ය. ගමක ගෘහපතින් සියලු දෙනා එක්ව ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතින්ගේ එකඟතාවෙන් ගමේ ජීවත් වන වඩා ධනවත් හා බලවත් පුද්ගලයා ඒ සඳහා පත් කර ගැනීමට අපේ පුරාණ ගම්වැසියන් කටයුතු කර තිබේ. ගමිකයින් ගෘහපතින් අතරින් ම පත් වූ කෙනෙකු බව බුද්ධඝෝෂ හිමියන් විසින් සමන්තපාසාදිකාවේ සඳහන් කර තිබේ.
ගමිකයින් ඉටු කළ කාර්යයන් අතර ඒ ඒ ගම්වල පොදු කටයුතුවලට නායකත්වය දීම විශේෂයෙන් වැදගත් විය. ගමට අයත් වැව නඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම, ඉන් ප්‍රධාන වූ බව පෙනේ. ගම්වල පැවති ආරවුල් විසඳීම ආදී දේ ඇතුළු මෙවැනි කටයුතුවලට නායකත්වය දීමත් ඔහු සතුව තිබූ ධනවත් බවත් නිසා ඔහු වටා කිසියම් පාලන බලයක් ගොඩ නැගුණු අන්දම පැහැදිලි ය.
ඒ ඒ ගම්වල විසු ගම් නායකයින් එකිනෙකා සමග සුහදව කටයුතු කිරීම ගම් අතර සාමය සහ සහජීවනය පවත්වා ගැනීමට මහත් සේ ඉවහල් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සිතුල්පව්වේ පිහිටි පැරණි බෞද්ධ විහාරයට අයත් කොරවක්ගල නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන ගල්ගුහාවක මේ කරුණ සනාථ කර ගැනීමට ඉවහල් වන සාක්ෂියක් තිබේ. එම ගල්ගුහාව පිරිසිදු කොට භික්ෂුන් වහන්සේලා වෙත පූජා කිරීමට පුද්ගලයින් තිදෙනෙක් සහභාගි වී තිබේ. ඒ ගමික සිව, ගමික සුමන සහ ගමික තිදන යි. මොවුන් තිදෙනා සිතුල්පව්වට යාබද අසල්වාසී ගම්වල නායකයින් වන්නට ඇත. මෙවැනි ගම්නායකයින් බිහි වීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ඉතා වැදගත් තීරණාත්මක අවස්ථාවකි.
පැරණි කාලයේ මෙරට සමාජයේ දේශපාලන බලය වර්ධනය වීම සම්බන්ධයෙන් පරුමක නමින් හැඳින්වූ ප්‍රභූන් පිරිසක් වැදගත් වන බව ඉහත සඳහන් කරන ලදී. එවැනි ප්‍රභූ පැලැන්තියක් බිහි වීම සහ ඔවුන්ට පාලන බලයක් හිමි වීම සිදු වුයේ කෙසේ දැ යි යන්න සොයා බැලීම මෙහි දී වැදගත් ය.
මේ කරුණ ගැන සොයා බලා තිබෙන විද්වතුන් සියලු දෙනාගේ ම අදහස වී තිබෙන්නේ පරුමකවරුන්ගේ බිහි වීමත් පුරාණ කාලයේ පැවති වැව් නඩත්තු කිරීමත් අතර සබඳතාවක් තිබෙන බව යි. ඇත්තෙන් ම එය එසේ වූයේ කෙසේ ද?
ක්‍රිස්තු පූර්ව 900 පමණ කාලයේ දී මෙරට වියළි කලාපයේ ජනාවාස පැතිර ගියේ කුඩා වැව් කේන්ද්‍ර කර ගෙන ය. මේ වැව් පෝෂණය වූයේ වැසි දියෙනි. සාමාන්‍යයෙන් ගමක ජීවත් වූ පවුල් 10-15 ත් අතර ප්‍රමාණයකට ඔවුන්ගේ එදිනෙදා ජීවන අවශ්‍යතා පිරිමසා ගැනීමට එවැනි වැව්වල තිබූ ජලය කෙටි කාලයකට ප්‍රමාණවත් විය. වාර්ෂිකව එළැඹෙන වියළි කාලවල දී මේ වැව් සිඳී ගියේ ය. එවැනි අවස්ථාවල එම වැව් ආශ්‍රිතව ජිවත් වූ ජනතාව මහත් අසීරුතාවලට මුහුණ දුන් බව අදත් වියළි කලාපයේ පැරණි වැව් ආශ්‍රිතව ජීවත්වන ජනතාව මුහුණ දෙන අත්දැකීම්වලින් පැහැදිලි වේ.
කුඩාවැව්වලට වර්ෂාකාලයේ දී පුරවා ගන්නා ජලය ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට මුහුණ දීමට සිදු වූයේ වියළි කාලගුණ තත්ත්වය නිසා පමණක් ම නොවේ. කාලයක් යාමේ දී ගම්වල ජනගහනය ඉහළ යෑම නිසා ද පරිභෝජනය සඳහා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය විය. ඉහළ යන ජනගහනයකට වැඩියෙන් ආහාර නිපදවීම අවශ්‍ය වූ නිසා වැඩි භූමි ප්‍රමාණයක් වගා කළ යුතු හෙයින් ඊට සුදුසු ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් රඳවා ගැනීම අත්‍යවශ්‍ය විය. මෙවැනි අවශ්‍යතා ඉදිරියේ උද්ගතවන දුෂ්කරතාවලට වරක් දෙවරක් නොව කිහිපවරක් මුහුණ දුන් අපේ පුරාණ ගම්වැසියෝ එම අභියෝගයට මුහුණ දීම සඳහා සාර්ථක ක්‍රමයක් අනුගමනය කළහ. ඒ තනිව පවතින වැවක් වෙනුවට සමීපව තිබෙන වැව් කිහිපයක් ඇළ මාර්ගවලින් සම්බන්ධ කොට වැව් පද්ධතියක් සෑදීම යි. එහි අරමුණු දෙකක් තිබිණි. පළමුවැන්න භූමියක ඉහළින් පිහිටි වැවක් වැසි දියෙන් පිරුණු විට ඉන් බැහැරට ගලා යන ජලය පහළින් ඇති වැවට හරවා ජලය සංරක්ෂණය කර ගැනීම යි. දෙවැන්න වැව් දෙකක් අතර ඇළ මාර්ගයේ නිරන්තරයෙන් ජලය ගලා යාමට සලස්වා ඇළ දෙපස භූමියේ තෙතමනය ඉහළ දැමීම යි. එසේ තෙතමනය ඉහළ නැංවීමෙන් එම ප්‍රදේශවල පහසුවෙන් බෝග වගා කළ හැකි විය. පුරාණ කාලයේ මෙලෙස සකස් කරන ලද වැව්පද්ධති වියළි කලාපයේ නටබුන්ව තිබෙනු අදත් දැකිය හැකි ය. මෙවැනි වැව් පද්ධතියක් හැඳින්වීමට ‘වැව් ප්රපතනය’ යන නම භාවිත වේ. වියළි කලාපයේ වැසියන් ඒවා හඳුන්වන්නේ ‘එල්ලංගාව’ යන නමිනි. වැව්පද්ධති බිහි වීම යනු හුදෙක් ම කුඩා වැව් කිහිපයක් එකිනෙක සම්බන්ධ වීම පමණක් ම නොවේ. ඒ පිටුපස ඉතා වැදගත් දෙයක් සිදු වෙමින් තිබිණි.
වියළි කලාපයේ එකිනෙකට ස්වාධීනව පැවති කුඩා ගම් ගැන මීට ඉහත සඳහන් කෙරිණි. මේ සෑම ගමකට ම අයත් කුඩා වැවක් පිහිටි බව ද එහි දී කියැවිණි. වැව් පද්ධති නිර්මාණය වීමේ දී සිදු වූයේ එවැනි ස්වාධීන ගම්වලට අයත් වැව් කිහිපයක් ජලය ගලා බසින ලෙස සමෝච්ච රේඛා අනුව එකට සම්බන්ධ කිරීම යි. එහි දී ඒ එක් එක් ගම් නායකයින් අතර සාකච්ඡා කිරීමත්, සම්බන්ධ කිරිමට නියමිත කුඩා වැව්ගම්මාන කිහිපයකට පොදු වන පරිදි යම් යම් වැදගත් තීරණ ගැනීමේ අවශ්‍යතාවත් පැන නැගීම ස්වාභාවික ය. ශ්‍රී ලංකාවේ පැරණිත ම සෙල්ලිපිවල දැක්වෙන කරුණු විමසිල්ලෙන් පරීක්ෂා කරන විට පෙනෙන්නේ මේ අවස්ථාවේ දී එකී ගම්වල විසූ ගමිකයින් අතුරින් වඩා බලවත් තැනැත්තා එක් වැව් පද්ධතියකට අයත් ගම් සියල්ල නියෝජනය කිරීමට කටයුතු කර තිබෙන බව යි. මේ තැනැත්තා හැඳින්වූයේ පරුමක යන නමිනි. වැව්පද්ධතියක් සහ ඊට අයත් ගම් කිහිපයක ජිවත් වූ වැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට බලයක් පැවරී තිබුණු නිසා පරුමකයන් එකල සමාජයේ බලවත් ප්‍රභූන් පිරිසක් ලෙස සැලකිණි.
වියළි කලාපයට අයත් තැනිතලා භූමියේ මෙවැනි වැව්පද්ධති සිය ගණනක් නටබුන්ව තිබෙනු අදත් දැකිය හැකි ය. එයින් පැහැදිලි වන්නේ ඒවා භාවිතයේ පැවති කාලවල දී ඒ සෑම වැව්පද්ධතියකට ම අයත් පරුමකයෙක් සිටි බව ය. මෙලෙස බිහි වූ පරුමකවරු සියගණනක් පිළිබඳ තොරතුරු පැරණි සෙල්ලිපිවල දක්නට තිබේ. පිරිමින් පමණක් නොව ඇතැම් අවස්ථාවල කාන්තාවන් ද ප්‍රාදේශීය පාලනයට හවුල් වී තිබේ. එවැනි කාන්තාවන් හඳුන්වන ලද්දේ පරුමකලු නමිනි. සමස්තයක් ලෙස ගත් විට ඒ සියලු දෙනා වියළි කලාපයේ ජනාවාස පැතිරී තිබූ ප්‍රදේශවල කුඩා භූමි ඒකක පාලනය කළ පුද්ගලයින් ය. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ විකාශනය ආරම්භ වූයේ බෙදී ගිය ක්‍රමයක් ලෙස ය. එවැනි ක්‍රමයක් හැඳින්වීමට වඩා සුදුසු ව්‍යවහාරය වන්නේ විමධ්‍යගත පාලනය යන්න යි.
මේ ආකාරයට මෙරට ප්‍රාදේශීය පාලනය ගෙන ගිය පරුමකවරුන්ගේ බලය වර්ධනය වූ ආකාරය කෙතෙක් ද යත් ඇතැම් අවස්ථාවල ඔවුන් “රජ” යන පදයෙන් තමන්ව හඳුන්වාගෙන තිබේ. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ඇඹුල්අඹේ නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තිබෙන එක්තරා පැරණි සෙල්ලිපියක ‘පොචනි රජ’ යනුවෙන් හැඳින් වූ ප්‍රාදේශික පාලකයෙකු ගැන සඳහන් වේ. එහි අදහස ප්‍රාචීන රජ හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජු යන්නයි. කෑගල්ලේ පිහිටි යටහලෙන නම් පැරණි බෞද්ධ විහාරයේ තිබෙන ගල්ගුහාවක ද ‘දුහතර රජ’ නමින් සඳහන් කළ තවත් එවැනි ම ප්‍රාදේශික පාලකයකු ගැන අසන්නට ලැබේ.
‘රජ’ යන පදයෙන් සතුටු කරන්නා යන අදහස ලැබේ. ජනතාවගේ සුභසිද්ධිය ගැන අනලස්ව කටයුතු කොට ඔවුන් සතුටට පත් කරන්නා හැඳින්වීමට රජ යන පදය යොදා තිබේ. පරුමකවරුන් එසේ ක්‍රියා කළ නිසා පසුකලෙක ඔවුන් හැඳින්වීමට එවැනි ව්‍යවහාරයක් භාවිත කර තිබේ. පසුකාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ අභීත රජවරු පරම්පරාවක් බිහි වීමට තුඩුදුන් එහි ආරම්භය සකස් වන්නේ මෙවැනි පසුබිමක ය.