සංඛ්‍යා රේඛාව

විවිධ කටයුතුවල දී අප භාවිත කරන මිනුම් උපකරණවල සංඛ්‍යා සලකුණු කර ඇත. එසේ සංඛ්‍යා ඇසුරෙන් ක්‍රමාංකනය කර ඇති කෝදුවක් පහත දැක්වේ.

රූපයේ දක්වා ඇති කෝදුව හා ගණිත උපකරණ පෙට්ටියේ ඇති කෝදුව අතර සමානතා තිබේ දැ යි නිරීක්ෂණය කර බලන්න.
එවැනි නිරීක්ෂණයකින් සොයා ගත් ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
(i) කෝදුවක, මැනීමේ දාර හරි කෙළින් නිමවා ඇත.
(ii) 0, 1, 2, 3, … ආදි වශයෙන් පූර්ණ සංඛ්‍යා, සමාන පරතරයක් සහිත ව බින්දුවේ සිට ක්‍රමයෙන් අගය වැඩි වන සේ ලකුණු කර ඇත.

බර මැනීමේ උපකරණයක් වන දුනු තරාදියෙහි ද ද්‍රව මැනීමට භාවිත කරන මිනුම් සරාවෙහි ද මෙවැනි අංකනයන් දැකිය හැකි ය.

● සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා යොදා ගන්නා මෙවැනි රේඛාවක් සංඛ්‍යා රේඛාව යන නමින් හඳුන්වනු ලැබේ.
● සංඛ්‍යා රේඛාවෙහි දකුණු පස කෙළවරට ඊ හිසක් යොදයි.
● සංඛ්‍යා රේඛාවක, සංඛ්‍යාවල අගය දකුණු දෙසට ක්‍රමයෙන් වැඩි වේ.
● ඉහත සංඛ්‍යා රේඛාව මත එක ළඟ පිහිටි පූර්ණ සංඛ්‍යා දෙකක් අතර වෙනස 1කි. වෙනස එකක් වූ පූර්ණ සංඛ්‍යා දෙකක් අනුයාත (එක ළඟ පිහිටි) පූර්ණ සංඛ්‍යා දෙකක් යනුවෙන් හැඳින්වේ.
● සංඛ්‍යා රේඛාව භාවිතයෙන් යම් යම් දේවල්වල ප්‍රමාණාත්මක තොරතුරු නිරූපණය කළ හැකි වේ.