සදිශ සංඛ්‍යා

P සහ Q ලක්ෂ්‍ය සලකුණු කරන ලද පහත දැක්වෙන සංඛ්‍යා රේඛාව සලකමු.

● මෙම සංඛ්‍යා රේඛාවේ P ලක්ෂ්‍යයෙන් නිරූපණය වන්නේ (+3) සදිශ සංඛ්‍යාව වන අතර Q ලක්ෂ්‍යයෙන් නිරූපණය වන්නේ (-2) සදිශ සංඛ්‍යාව වේ.
● (+3) බොහෝ විට 3 ලෙසත් ලියනු ලැබේ.
● (-2) සහ (+3), සංඛ්‍යා රේඛාවේ බින්දුවේ සිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල පිහිටා ඇත.
● (+3) සදිශ සංඛ්‍යාව, සංඛ්‍යා රේඛාවේ බින්දුවේ සිට පිහිටා ඇති දිශාව දැක්වීමට +(ධන) ලකුණ භාවිත කරනු ලැබේ.
● (-2) සදිශ සංඛ්‍යාව, සංඛ්‍යා රේඛාවේ බින්දුවේ සිට පිහිටා ඇති ප්‍රතිවිරුද්ධ දිශාව දැක්වීමට -(ඍණ) ලකුණ භාවිත කරනු ලැබේ.

මෙලෙස සංඛ්‍යා රේඛාවක පිහිටි ලක්ෂ්‍යයක් මගින් නිරූපණය කර ඇති සංඛ්‍යාවක විශාලත්වය යනු සංඛ්‍යා රේඛාවේ 0 පිහිටි ලක්ෂ්‍යයේ සිට එම ලක්ෂ්‍යයට ඇති දුර වේ.
තව ද එම සංඛ්‍යාව නිරූපණය කරන ලක්ෂ්‍යය, 0 පිහිටි ලක්ෂ්‍යයේ සිට දකුණතින් හෝ වමතින් හෝ පිහිටීම අනුව එහි සලකුණ + හෝ – හෝ වේ

● බින්දුවේ සිට P ලක්ෂ්‍යයට ඇති දුර ඒකක 3ක් බැවින්, (+3) සදිශ සංඛ්‍යාවේ විශාලත්වය 3 වේ. (-2) සදිශ සංඛ්‍යාවේ විශාලත්වය 2 වේ.

සදිශ සංඛ්‍යාවක ඉලක්කමෙන් එහි විශාලත්වය ද + හෝ – හෝ සලකුණෙන් එහි දිශාව ද දැක්වේ.

(+3), (-7), (+2.5), (-3.4), (+ 3 1/2),(-5 1/4 ) යන සංඛ්‍යා සදිශ සංඛ්‍යාවලට උදාහරණ කිහිපයකි.

සටහන:
● මෙහි දී වැදගත් කරුණක් වනුයේ සංඛ්‍යාවේ දිශාව දැක්වීමට + හෝ – සලකුණ යොදා ගන්නා අතර ම සදිශ සංඛ්‍යා දෙකක් එකතු කිරීමටත් + සලකුණ ම ද සදිශ සංඛ්‍යාවකින් තවත් සදිශ සංඛ්‍යාවක් අඩු කිරීමටත් – සලකුණ ම ද භාවිත කරන බව ය.
● එකිනෙකට වෙනස් වූ කාර්යයන් දෙකක් සඳහා + සහ – සලකුණු භාවිත වන බව අප වටහා ගත යුතු ය.
● මේ යෙදීම් දෙක පැහැදිලිව හඳුනා ගැනීම සඳහා අපි සදිශ සංඛ්‍යාවක් ලියන විට එය වරහනක් තුළ ලියනු ලැබේ.