බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව

 සත් සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ මුව දෝවනය කර කිරිපලු රුක මුල වැඩ සිටි අතර තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ පැමිණ අත්සුණු හා මීපිඬු පූජා කළහ.
 ඔවුන්ට පූජා පැවැත්වීමට සුදුසු පූජනීය වස්තුවක් ඉල්ලූ විට කේශ ධාතු ස්වල්පයක් දුන් සේක.
 බුදුන් හා දහම් සරණ ගිය පළමු (දේවාචික) උපාසකවරුන් ලෙස හැඳින්වෙන්නේ ද මේ තපස්සු භල්ලුක දෙදෙනායි.

 බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සහම්පතී මහා බ්‍රහ්මයා ලෝකයාට ධර්මය දේශනා කරන ලෙස ආරාධනා කළේය.
 ඒ අනුව පළමු ධර්ම දේශනය කළ යුත්තේ කවරෙකුට දැ යි කියා විමසා බැලීමේ දී ආලාර කාලාම හා උද්දකරාමපුත්ත සිහිපත් වුණි.
 එහෙත් ඒ වන විට ඔවුන් මියගොස් තිබුණි.
 එනිසා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේ උපස්ථාන කළ පස්වග තවුසන්ට දහම් දෙසීමට සිතා බරණැස ඉසිපතනය කරා වැඩම කිරීමට පිටත් වූහ.
 මේ වඩින අතරමග දී උපක නම් ආජීවකයෙකු හමුවිය.
 ඔහු බුදුරජාණන් වහන්සේගෙන් “ඔබේ ශාස්තෘවරයා කවරෙක් ද? ඔබ රුචි කරන ධර්මය කුමක් දැ?” යි විමසී ය.
 ”සියලු දුක් ඉක්මවා ගිය සියල්ල අවබෝධ කළ සියල්ලේ නොඇලුණ නිවන් පසක් කළ මම මගේ ආචාර්යවරයා ලෙස කවරෙකු දක්වන්නෙම් ද?”
 මට ගුරුවරයෙකු නැත.
 සමානයෙකු ද නැත.
 මම රහත් වෙමි.
 නිරුත්තර වූ ශාස්තෘවරයා වෙමි.
 සම්මා සම්බුදු වෙමි.
 දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවරට යමි,”යි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.
 ඉන් පසු උපක තෙමේ “ඔබ අනන්ත ජිනදැ?” යි බුදුරදුන්ගෙන් විමසී ය.
 සියලු කෙලෙස් පරදවා නිවන් පසක් කළ තමා ජින යැයි හැඳින්විය හැකි බවට බුදුරදුන්ගෙන් උපකට පිළිතුරු ලැබිණ.
 උපක “එය එසේත් විය හැකියැ,”යි හිස සලා පිටත් විය.

 බරණැස ඉසිපතනයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජී යන පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ.
 ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකයි.
 එම දේශනාව අසා පළමු ව කොණ්ඩඤ්ඤ තාපසතුමා ද පසු ව අනෙක් සිව් දෙනා ද සෝවන් වූ අතර බුදුරජාණන් වහන්සේ ඔවුන් ඒහි භික්ඛු භාවයෙන් පැවිදි කළ සේක.
 පසු ව දේශනා කළ අනන්ත ලක්ඛන සූත්‍ර දේශනාව අසා උන් වහන්සේලා රහත් වූහ.