දළඳා පෙරහැර

ඇසළ මාසයෙහි (ජුලි-අගෝස්තු) දිවයිනේ ප්‍රධාන
විහාරස්ථාන කිහිපයක් මුල් කොට ගෙන පැවැත්වෙන
අලංකාර පෙරහැර දේශීය ජනයාගේ මෙන් ම
විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක් වූ දේශීය
සංස්කෘතිකාංගයකි. මහනුවර මෙන් ම අලුත්නුවර,
නවගමුව, දෙවුන්දර, රත්නපුරය, කතරගම ආදි ස්ථානවල
ඇසළ පෙරහැර පැවැත්වුණ ද ඉතා උත්කර්ෂයෙන් ඇසළ
පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතවය.
පරම්පරානුගතව පැවතෙන නර්තන, වාදන හා රංගන
අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍රවලින් සමන්විත මේ
පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන
උත්සවයක් ලෙස සැලකෙයි. අපේ ඇසළ පෙරහැර
පැරණි ඉන්දියාවේ පැවති ආෂාඪ උත්සව හෙවත් ඇසළ
කෙළියේ පරිණාමයෙන් ඇති වූවක් සේ පිළිගැනේ.
මහනුවර ඇසළ පෙරහැර වර්තමාන මුහුණුවර ගෙන
ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි පටන් බව
පෙනේ. විවිධ ප්‍රදේශවල ඇසළ පෙරහැර පැවැත්වෙනුයේ
ඒ ඒ ප්‍රදේශයට අධිපති සේ සැලකෙන දෙවියකු මුල් කර
ගනිමිනි. එහෙත් මහනුවර ඇසළ පෙරහැර දළදාව මුල්
තැන්හි ලා පැවැත්වෙන බෞද්ධ මහෝත්සවයක් වන
අතර එහෙත් එයට පරිවාර වශයෙන් විවිධ දෙවිවරුන්
සම්බන්ධ කර ගැනීම සිදු කෙරේ. එහෙයින් දළදා පෙරහැර
විවිධ ආගම් අතර සහජීවනය වර්ධනය කරන චාරිත්‍ර
වාරිත්‍රවලින් සමන්විත වූවක් සේ අගය කළ හැකි ය.
සිංහල විශ්වකෝෂයේ තුන්වන කාණ්ඩයේ ඇසළ
පෙරහැර මැයෙන් වන ලිපිය ආශ්‍රයෙන් සම්පාදිත මේ
පාඩම දළදා පෙරහැර පිළිබඳ කෙටි හැඳින්වීමකි.