පොකුණු නිර්මාණය

මිනිසාගේ විවිධ අවශ්‍යතාවන් සඳහා ජලය එක් රැස් කර තබා ගැනීමට පොළොව කැණ තනවා ඇති නිර්මාණ විශේෂයක් පොකුණු වශයෙන් හැඳින්වේ.
වැවක මෙන් සාමාන්‍ය පොළොව මත ඉහළට බැම්මක් බැඳ ජලය රැස් කර ගැනීමේ ලක්ෂණය පොකුණුවල දක්නට නොලැබේ.
බොහෝ විට පොකුණු තැනවීමේ දී සාමාන්‍ය පොළොව මට්ටමේ සිට යටට හාරා ඉවුරුවල ආරක්ෂාව සලසා ජලය රැස් කර තැබීමේ ක්‍රමයක් භාවිත කර තිබේ.
ශ්‍රී ලංකාවේ පොකුණු තැනවීම පිළිබඳ ඉතිහාසය විජය පුරාවෘත්තය තරම් ඈතට දිව යයි.
විජය කුමරු මෙරටට ගොඩබසින විට කුවේණිය පොකුණක් අසල කපු කටින තැනැත්තියකගේ විලාසයෙන් සිටි පුවතක් මහාවංසයේ දැක්වේ.
ඒ වන විටත් මෙරට පොකුණු ඉදි කර තිබූ බව මේ කතාවෙන් පෙනේ.
දිවයිනේ වැව් හා ඇළ මාර්ග තැනවීමේ තාක්ෂණය දියුණු වීමත් සමඟ පොකුණු තැනවීමේ ශිල්ප ක්‍රමවල ද දියුණුවක් ඇති විණැයි සැලකිය හැකි ය.
වසභ රජු නගරයේ අලංකාරය සඳහා බොහෝ පොකුණු තැනවී යැයි මහාවංසයේ සඳහන්ව තිබීම එයට උදාහරණයකි.

පොකුණු තැනවීමේ අවශ්‍යතා හා පොකුණු වර්ග

ජලය පරිභෝජනය සඳහා තැනවූ පොකුණු

මෙරට පැරණි පොකුණුවලින් වැඩි ප්‍රමාණයක් ජලය පරිභෝජනය සඳහා ඉදි කළ ඒවා වේ.
ස්නානය හා පානීය ජලය රැස් කර ගැනීම සඳහා ඇතැම් විට වෙන ම පොකුණු තනා තිබූ බව පෙනේ.
අභයගිරියේ ඇත් පොකුණ ස්නානය සඳහා තැනවූ විශාල පොකුණක් ලෙස සැලකිය හැකි ය.
අනුරාධපුර රන්මසු උයනේ පොකුණු ස්නානයට හා ජල ක්‍රීඩා කිරීමට යොදා ගත් ඒවා වේ.

වැසි ජලය ක්‍රමානුකූලව බැහැර කිරීමේ පොකුණු

ආරාම භූමිවල වර්ෂා කාලයේ රැස් වෙන ජලය තැන් තැන්වල එකතු වීමෙන් ඇති වන පරිසර ගැටලු අවම කර ගැනීමට උමං හෝ මතුපිට කාණු මගින් එම ජලය පොකුණුවලට යොමු කර තිබේ.
අනුරාධපුර අභයගිරි දාගැබ මතට පතිත වන වර්ෂා ජලය දාගැබ දිගේ බේරී සලපතළ මළුවට එක් රැස් වේ.
සලපතළ මළුවේ පිටතින් තනවා ඇති ජල පිහිලි මගින් එම ජලය අනතුරුව වැලි මළුවට ගලා යාමට සලස්වා ඇත.
වැලිමළුව දිගේ ගලන ජලය පිට ප්‍රාකාරය අසල තනා ඇති ගලින් තැනූ ආවාටයකට එකතු වී එතැන් සිට පොළොව යටින් ගලින් තැනවූ උමං මාර්ගයක් ඔස්සේ පිටතින් තනවා ඇති පොකුණකට එක්රැස් වේ.
මෙබඳු පොකුණු හතරක් අභයගිරි දාගැබට සිව් දෙසින් තනවා තිබේ.
මේ ආකාරයට ඉදි කළ පොකුණු බොහෝ දාගැබ් හා ආරාම ආශ්‍රිතව දැකිය හැකි ය.

අලංකාරය සඳහා ඉදි කළ පොකුණු

අනුරාධපුරයේ රන්මසු උයනේ පොකුණු මෙන් ම පොලොන්නරුවේ කුමාර පොකුණ හා නෙළුම් පොකුණ ආදිය ද අලංකාරය සඳහා තැනූ පොකුණුවලට උදාහරණ වේ.
මෙම පොකුණු අලංකාරය සඳහා පමණක් ම තැනවූ ඒවා නොවේ.
ඒවායේ ජලය මිනිස් පරිහරණයට ගන්නට ඇත.
මේවායේ විවිධ අලංකාර සැරසිලි යොදා තිබීම කැපී පෙනේ.

පරිසරය සිසිල්ව තබා ගැනීමට තැනවූ පොකුණු

රජරට ප්‍රදේශයේ වියළි දේශගුණයක් පවතින බැවින් ආරාමවාසී භික්ෂූන් වහන්සේලාට සිසිල් පරිසරයක බණ භාවනා කිරීම පිණිස ඇතැම් විහාරාරාමවල පොකුණු තැනවිය හැකි සෑම ස්ථානයක ම පොකුණු ඉදි කර තිබෙනු දැකිය හැකි ය.
අක්කර 500ක් පමණ වන අභයගිරි විහාර භූමියේ පමණක් පොකුණු 65ක් පමණ තනවා තිබේ.
අම්පාර රජගල පුරාවිද්‍යා භූමියෙන් මෙබඳු පොකුණු 40කට වැඩිය සොයාගෙන ඇත.
එක් ප්‍රදේශයක ළඟ ළඟ පොකුණු තනවා ජලය රැස් කර තැබූ විට ජල වාෂ්ප හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරයේ සිසිල් බවක් ඇති වේ.