ගංගාවේ සංගීතය

හේවාවසම් මුනිදාස කුඩලිගම හෙවත් එච්. එම්. කුඩලිගම කොළඹ යුගයේ කවියෙකි.
ස්වභාව සෞන්දර්යය මහත් අභිරුචියෙන් වර්ණනා කළ කවීන් අතර හෙතෙම වෙසෙසින් කැපී පෙනේ.
එසේ ම ඔහු මිනිස් දිවිය හා සොබා දහම අතර ඇති සබඳතා දාර්ශනික පදනමකින් ඉදිරිපත් කළේ ය.
වර්ෂ 1918 දී කළුතර කුඩලිගම දී උපත ලැබූ එච්. එම්. කුඩලිගම මිෂනාරි පාසලෙන් ජ්‍යේෂ්ඨ පන්තිය තෙක් ඉගෙනුම ලැබුවේ ය.
ඉන් අනතුරුව ධර්ම විජය පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලැබුවේ ය.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කොළඹට පැමිණි කුඩලිගම සිය රැකියාව ලෙස පුවත්පත් කලාව තෝරා ගත්තේ ය.
සිංහල බලය, දිනමිණ, සිළුමිණ හා ජනතා ආදි පුවත්පත්වල සේවය කළ ඔහු කලක් ‘සුවඳ’ කවි සඟරාව ද සංස්කරණය කළේ ය.
එසමයෙහි එම කවි සඟරාව වඩාත් ශාස්ත්‍රීය ගුණයකින් යුක්ත ව පවත්වා ගෙන යෑමට හෙතෙම උත්සුක වූයේ ය.
නිදොස් නිවැරදි බස් වහරකින් මෙන්ම මනා සංයමයකින් තම කවි මග හැසිරවීමට කුඩලිගම සැලකිලිමත් වූයේ ය.
පාලි සංස්කෘත භාෂා පිළිබඳ දැනුම ද ඔහු සතු වූවත් බොහෝ විට ව්‍යවහාරයට සමීප කටවහරට ළං වූ බසක් ඔහු භාවිත කළේ ය.
පෙර ද සඳහන් කළ පරිදි ස්වභාව සෞන්දර්යය හා බැඳුණු කවි ආර හේතුවෙන් ‘සිංහල ෂෙලී’ ලෙස කුඩලිගම ප්‍රකට වුව ද බටහිර කවියකු වූ ෂෙලීගේ කවි ඔහු කියවා නොතිබිණි.
එහෙත් ඔහුගේ කාව්‍ය සංකල්පනා ෂෙලීගේ නිර්මාණවලට සමීප බව විචාරක අදහසයි.
ඒ කෙසේ වුවත් එච්.එම්. කුඩලිගම කවියා තාගෝර් කිවිඳුන්ගේ නිර්මාණවලට සමීප වූ අන්දමත්, ඒවායෙහි ආභාසය ලැබූ අවස්ථාත් සිහි පත් කර ඇත.
කුඩලිගම කොළඹ කවි යුගය දීප්තිමත් කළ කවියකු බව විචාරක මතයයි.
පී.බී. අල්විස් පෙරේරා, කපිල සෙනෙවිරත්න, මාකඳුරේ ගුණවර්ධන, මීමන ප්‍රේමතිලක, උපනන්ද බටුගෙදර ආදීහු ඔහුට සමකාලීන කවීහු වෙති.

මීමන ප්‍රේමතිලක
උපනන්ද බටුගෙදර
පී.බී. අල්විස් පෙරේරා

සුවඳ, දේදුන්න, මීවදය වැනි කවි සඟරාවල ද එකල පැවති පුවත්පත්වල ද එච්. එම්. කුඩලිගමගේ කවි නිරන්තරයෙන් පළ විය.
ඔහු ලියූ ‘ඈ’ පද්‍ය ග්‍රන්ථය ඉතා ජනප්‍රිය විය.
කුණාටුව, එකෝමත් එක රටක, සංවාදය වැනි කෘති ද ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ අතර වේ.
මනුෂ්‍ය ජීවිතය, සොබා දහම හා ප්‍රේමය පිළිබඳ අපූර්ව අත්දැකීම් සිය නිර්මාණ මගින් මතු කිරීමට සමත් වූ සංවේදී කවියකු වශයෙන් සිංහල කාව්‍ය වංශයෙහි නොමැකෙන නමක් සටහන් කළ කුඩලිගම කවියා 1973
අගෝස්තු 01 දා අභාවප්‍රාප්ත විය
.