ඛනිජ හා පාෂාණ

හත් වන ශ්‍රේණියේ ශිෂ්‍ය කණ්ඩායමක්, පරිසරය නිරීක්ෂණය සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක නිරත වූහ. ගුරුතුමාගේ මඟ පෙන්වීම යටතේ ඔවුන් විසින් එම පරිසරයෙන් ගල් වර්ග කිහිපයක් රැස් කර ගන්නා ලදි. එම ගල් වර්ග අතර පාෂාණ මෙන් ම ඛනිජ ද අඩංගු බව ගුරුතුමා පැවසී ය.

එම ගල් වර්ග පාෂාණ හා ඛනිජ ලෙස වෙන් කරන ආකාරය, එම සිසුන්ට ගැටලුවක් විය. ඔවුන් රැස් කළ ගල් වර්ග අතර තිබූ කළුගල් කැබැල්ලක් හා තිරුවාණ ගල් කැබැල්ලක්, පහත 18.1 a හා 18.1 b ඡායාරූපවල දැක්වේ.

කළුගල් හා තිරුවාණ ගල්වල ස්වභාවය පරීක්ෂා කිරීම සඳහා පහත 18.1 ක්‍රියාකාරකමෙහි නිරතවෙමු.

කළු ගල් යනු පාෂාණයකි. තිරුවාණ ගල් යනු ඛනිජයකි. පාෂාණ හා ඛනිජ අතර වෙනස පිළිබඳ ව සොයා බලමු.

ඛනිජ හා පාෂාණවල ලක්ෂණ

ඛනිජයක් යනු එක් සංඝටකයකින් පමණක් සෑදුණකි. පාෂාණයක් සංඝටක කිහිපයක මිශ්‍රණයකි.

ඛනිජ ස්වාභාවික ව පොළොවේ පවතිනුයේ නිශ්චිත ජ්‍යාමිතික හැඩයෙන් යුතු ස්ඵටික වශයෙනි. මිනිරන්, ඩොලමයිට්, ෆෙල්ස්පාර්, ඉල්මනයිට් වැලි, තිරුවාන, මයිකා ආදිය ශ්‍රී ලංකාවේ හමුවන ඛනිජ වර්ග කිහිපයකි. ස්ඵටිකවල ජ්‍යාමිතික හැඩ කිහිපයක් පහත රූපයේ දැක්වේ.

නමුත් පාෂාණ නිශ්චිත ජ්‍යාමිතික හැඩවලින් යුක්ත නොවේ. ග්රැනයිට්, නයිස් පාෂාණ සඳහා නිදසුන් දෙකකි. ග්රැනයිට් හා නයිස් පාෂාණ එදිනෙදා ව්‍යවහරයේ දී කළුගල් ලෙස හැඳින්වේ.

පාෂාණ හා ඛනිජ වර්ග

8 වැනි පරිච්ඡේදයේ දී ඔබ අධ්‍යයනය කළ පෘථිවියේ ව්‍යුහය පිළිබඳ මතකය සිහියට නගන්න. එහි දී පෘථිවියේ මතුපිටින් ම ඇති ස්තරය, කබොල ලෙසත් කබොලේ විශාල ප්‍රමාණයක් සෑදී ඇත්තේ පාෂාණවලින් බවත් අවබෝධ වන්නට ඇත.

පාෂාණ වර්ගීකරණය

පෘථිවියේ පාෂාණ ස්වාභාවික ව නිර්මාණය වී ඇති ආකාරය අනුව ඒවා වර්ග තුනකට බෙදා ඇත.

●ආග්නේය පාෂාණ (Igneous rocks)
●අවසාදිත පාෂාණ (Sedimentary rocks)
●විපරීත පාෂාණ (Metamorphic rocks)

ආග්නේය පාෂාණ

පෘථිවියේ මතුපිට සිට කිලෝමීටර් 30ක් පමණ ගැඹුරෙහි 5000 0C වඩා වැඩි උෂ්ණත්වයක් පවතී. එම අධික උෂ්ණත්වයේ දී පාෂාණ ද්‍රව තත්ත්වයෙන් පවති. මෙම ද්‍රව පාෂාණ, මැග්මා (ලෝදිය) නම් වේ. ගිනි කඳු පිපිරීමේ දී ගිනි කඳු විවරයෙන් මැග්මා පිටතට ගලා යයි. ගිනි කඳු විවරයෙන් පිටතට පැමිණි මැග්මා (Magma) හඳුන්වනුයේ ලාවා (Lava) යනුවෙනි.

මෙසේ ගලා යන ලාවා සිසිල් වීමෙන් ආග්නේය පාෂාණ හටගනී. ග්රැනයිට් හා බැසෝල්ට් ආග්නේය පාෂාණ සඳහා නිදසුන් වේ. ආග්නේය පාෂාණ දැඩි බවක් දක්වයි.

අවසාදිත පාෂාණ

අව්ව, වැස්ස, සුළං ආදි බාහිර සාධකවල බලපෑම නිසා පොළොව මතුපිට ඇති පාෂාණවලින් කැබලි කැඩී ඉවත් වේ. එනම් පාෂාණය ජීරණය වේ. කැඩී ගිය පාෂාණ කැබලි ජලය හා සුළඟ වැනි සාධක මගින් වෙනත් තැන්වලට ගසා ගෙන යා හැකි ය. ඒවා භූමියේ හෝ ජලාශ හා සාගර පතුලේ හෝ ස්තර (තට්ටු) වශයෙන් තැන්පත් වේ. මෙම ස්තර මත තව තවත් ද්‍රව්‍ය තැන්පත් වේ. ඉහළින් ඇති ස්තරවල බර නිසා පහළින් ඇති ද්‍රව්‍ය එකට තද වී බැඳීමක් සිදු වේ. එලෙස සෑදෙන පාෂාණ අවසාදිත පාෂාණ නම් වේ

අවසාදිත පාෂාණ, ආග්නේය පාෂාණ තරම් දැඩි බවක් නො දක්වයි. බෙල්ලන් වැනි මුහුදු ජීවීන්ගේ සැකිලි, සාගර පතුලේ තැන්පත් වේ. ඒවා අධික පීඩනයකට භාජනය වී සෑදෙන හුනුගල් ද අවසාදිත පාෂාණයකි.

විපරීත පාෂාණ

භූමිකම්පා අවස්ථාවල දී ද, වෙනත් හේතු නිසා ද ආග්නේය පාෂාණ ද අවසාදිත පාෂාණ ද පොළොව තුළට ගමන් කිරීමට ඉඩ ඇත. එවිට පොළොව තුළ ඇති මෙම පාෂාණ අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ලක් වේ. එලෙස අවසාදිත පාෂාණ හා ආග්නේය පාෂාණ විපර්යාසවලට භාජනය වීමෙන් විපරීත පාෂාණ සෑදේ.

නිදසුන් :-

●අවසාදිත පාෂාණයක් වන හුනුගල් විපරීත වී කිරිගරුඬ (Marble) සෑදේ.
●ආග්නේය පාෂාණයක් වන ග්රැනයිට් (Granite) විපරීත වීමෙන් (Gneiss) පාෂාණ සෑදේ.

ඛනිජ වර්ග

ශ්‍රී ලංකාවේ ඛනිජ වර්ග රාශියක් ස්වාභාවික ව හමුවේ. ඒවායෙන් කිහිපයක්ප හත 18.7 රූපයේ දැක්වේ.

නිදසුන් :-

  1. ෆෙල්ස්පාර් (Feldspar)
  2. ඩොලමයිට් (Dolomite)
  3. තිරුවානා (Quartz)
  4. ඉල්මනයිට් (Ilmenite)
  5. මයිකා (Mica)
  6. මිනිරන් (Graphite)