ජල කළමනාකරණය, භූමි කළමනාකරණය, පසු අස්වනු තාක්ෂණය

ජල කළමනාකරණය

“අහසින් වැටෙන එක් දිය බිදක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙමු” යනුවෙන් පෙර දා මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සඳහන් කර ඇත. එමගින් පෙන්වා ඇත්තේ ජල කළමනාකරණයේ ඇති වැදගත්කමයි. අප අතීතයේ සිට ම කාෂි කර්මාන්තය සඳහා පරිසර හිතකාමි ලෙස ජල කළමනාකරණය සිදු කළ ලෝකයේ ප්‍රථම සහ එක ම ජාතිය වේ. වසර දහස් ගණනකට පෙර සිට අද දක්වා ම ලක්ෂ ගණනක ජනතාවකගේ දිවි සරිකර ගැනීමට මා හැඟි දායකත්වයක් දෙන වැව්, අමුණු හා වාරි මාර්ග වැසි ජලය සංරක්ෂණය සඳහා කදිම නිදසුන් ය (13.9 a රූපය).

13.9 a රූපය – පරාක්‍රම සමුද්‍රය
13.9 b රූපය – වැවක ප්‍රධාන අංග

ජල සම්පාදනය දුර්වල ප්‍රදේශයක ගොවිතැන් කටයුතුවලට ජලය ලබා ගැනීමේ අරමුණින් ගඟක් හෝ ඔයක් හෝ ඒවායේ ශාඛාවක් යොදා ගෙන තැනූ වාරිමාර්ග අතීතයේ භාවිත විය.

විශාල තැනිතලා ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශ වටා බැමි බැඳ වර්ෂා ජලය අවුරුද්ද පුරා ප්‍රයෝජනයට ගැනීමට රැස් කළ වැව් පද්ධති එකල භාවිත විය. වර්ෂාව නොමැති කලාපවලට වාරි පද්ධති ඔස්සේ වැවෙන් වැවට ජලය ගලා යමින් ජලය රැස්කර තබා ගැනීමට වැව් උපකාරී විය. වැවක පොදු සැලැස්මක ඇති අංග සලකා බැලීමෙන් කෙතරම් පරිසර හිතකාමී ලෙස වාරි තාක්ෂණය භාවිත කර ඇති දැයි පැහැදිලි වේ (13.9 b රූපය).

වැසි ජලය රැස් කිරීම

වැසි ජල සංරක්ෂණය සඳහා තනි පුද්ගලයෙක් ලෙස අපට ද ගත හැකි ක්‍රියාමාර්ග ඇත. මේ සඳහා නිවාස හා වෙනත් ගොඩනැගිලිවල වහලයට ලැබෙන වර්ෂා ජලය එකතු කර නියං කාලයේ දී ප්‍රයෝජනයට ගත හැකි ය (13.10 රූපය).

13.10 රූපය – නිවෙසක වැසි ජලය රැස් කිරීමට යොදා ඇති උපක්‍රමයක්

බිංදු ජල සැපයුම

13.11 රූපය – බිංඳු ජල සැපයුම

දැනට භාවිත කරන ඉතා ම කාර්යක්ෂම හා සූක්ෂම ජල සම්පාදන ක්‍රමය යි. මෙහි දී ජල ප්‍රභවයේ සිට ප්‍රධාන නළයකින් ආරම්භ වන පාර්ශ්වික නළ සෑම බෝගයක ම මූල මණ්ඩලය ආසන්නයෙන් යොදා ඇත. මෙම නළවල ඇති විමෝචක (emmiters) නම් කුඩා උපාංගවලින් ජලය බිංදු ලෙස වෑස්සේ. මූල මණ්ඩලයට පමණක් ජලය වෑස්සෙන බැවින් ජලය අපතේ නොයන අතර වල් පැළෑටි වර්ධනය පාලනය වේ (13.11 රූපය).

භූමි කළමනාකරණය

භුමි සම්පත භාවිතය හා සංවර්ධනය කළමණාකරණය කිරීම භුමි කළමනාකරණය ලෙස හැඳින්වේ.

භුමිය කෘෂි කර්මාන්තය සඳහා උපස්තර සපයයි. නමුත් එය භාවිත කිරීමේ දී පරිසරයට යහපත් මෙන් ම අයහපත් බලපෑම් ද ඇති විය හැකි ය. පවතින භුමියෙන් උපරිම ප්‍රයෝජන නොගන්නේ නම් වන වගා සහිත භුමි අලුතින් වගා කටයුතුවලට යොදා ගැනීමට මිනිසා පෙළඹේ. එවිට වනගහනය අඩු වේ. එනම් හරිත වැස්ම අඩු වේ. මේ නිසා භුමි කළමනාකරණය හරිත සංකල්පය මූලික කරගෙන සිදු කළ යුතු ය.

කෘෂිකාර්මික භූමි කළමනාකරණය කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

● බෑවුම් ප්‍රදේශ සංරක්ෂණය කළ යුතු වේ.
● බෑවුම් අධික කඳු ප්‍රදේශ වගා කටයුතු සඳහා භාවිත කිරීම අනතුරුදායක වේ.
● අධික වර්ෂාව මගින් දරාගත නොහැකි ජල ධාරිතාවක් කෙටි කාලයක් තුළ පතිත වීමේ දී කඳු නාය යාමට ලක් වේ.
● වගා භූමි තුළ අතුරුබෝග වගා කිරීමෙන් භූමියෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම.
නිද:-
තේ වගාව සමග පොල්, රබර්, ගම්මිරිස් වැනි ආර්ථික භෝග වගාව
රබර් වගා ඉඩම්වල කොකෝවා වගා කිරීම
ගොයම් වගා කරන කුඹුරුවල නියර මත කෘෂි බෝග වගාව
● ජල පෝෂක ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා නොගත යුතු ය.

භූමියක පාංශු සාධකවල ගුණාත්මක බව ඉහළ මට්ටමක තබා ගැනීමට පහත ක්‍රම අනුගමනය කරනු ලබයි.

● කෘෂි කර්මාන්තයට සුදුසු පාංශු වයනයක් ඇති කිරීම.
● ජලය හා වාතය හොඳින් රඳා පවතින ලෙස පාංශු ව්‍යුහය වැඩි දියුණු කිරීම.
● භුමිය තුළ යහපත් ජලවහන පද්ධතියක් සකස් කිරීම.
● කාබනික පොහොර යෙදීම මගින් පසේ ගුණාත්මක බව ඉහළ නැංවීම.
● භුමියේ ඒ ඒ ස්ථානවලට වඩාත් සුදුසු බෝග යෙදීම.

තිරසාර වූ කෘෂිකාර්මික භුමි කළමනාකරණය තුළින් අත්පත් කරගත හැකි වාසි කිහිපයක් පහත දක්වා ඇත.
● නිෂ්පාදන ඵලදායිතාව වැඩි දියුණු වීම.
● නිෂ්පාදන අවදානම අඩු වීම.
● ස්වාභාවික සම්පත්වල සහ පසේ හා ජලයේ ගුණාත්මක බව ඉහළ නැංවීම.
● ආර්ථික වටිනාකම වැඩිදියුණු වීම.
● ආපදා අවම වීම.
● පරිසරයට සිදුවන හානි අවම වීම.
භූමි කළමනාකරණයේ දී මෙන් ම ඉහළ ඵලදායිතාවක් මුල් කරගත් වගා ක්‍රම කිහිපයක් පහත සඳහන් වේ.

පසු අස්වනු තාක්ෂණය

වගාවක අස්වනු නෙළා ගත් වහා ම ගුණාත්මය රැකෙන පරිදි ඒවා පිරිසිදු කර, වර්ග කර, ඇසිරිම සිදු කිරීම පසු අස්වනු තාක්ෂණය ලෙස හැඳින්වේ (13.13 රූපය). පසු අස්වනු ක්‍රියාවලියට අස්වනු නෙළා ගැනීම, අස්වනු ඇසිරීම, ප්‍රවාහනය සහ විකිණිම යන පියවර ඇතුළත් වේ.

13.13 රූපය – බෝග අස්වැන්න ක්‍රමානුකූලව අසුරා ඇති ආකාරය

ශ්‍රී ලංකාවේ පසු අස්වනු තාක්ෂණය ඉතා පහළ මට්ටමක පවතින බව දැකගත හැකි ය. විද්‍යානුකූලව අස්වනු නෙළීමටත්, ඒවා ඇසිරීමටත්, ප්‍රවාහනය සිදු කිරීමටත් අප රටේ එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. මේ හේතුවෙන් නිෂ්පාදනවලින් වැඩි කොටසක් පරිභෝජනයට නොගෙනම ඉවතලයි. එමගින් නිෂ්පාදකයාට මෙන් ම වෙළෙන්දාට ද ලැබෙන ආදායම අඩු වන අතර නිෂ්පාදනවල මිල ඉහළ යාමට ද හේතු වී ඇත. තව ද පසු අස්වනු තාක්ෂණය දුර්වල වීම නිසා ජනතාවට උසස් මට්ටමේ ආහාර පාරිභෝජනයට ඇති අවස්ථාව ද අහිමි වී ගොස් ඇත.