ජෛව විවිධත්වයේ වැදගත්කම

පරිසර පද්ධතියක සමතුලිතතාව සඳහා එහි වෙසෙන ලොකු කුඩා සෑම ජීවියෙකු ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ඉහළ ජෛව විවිධත්වය ඇති විට එම පරිසර පද්ධතියේ යහපැවැත්ම හා ස්ථායිතාව ද ඉහළ යයි.

ජෛව විවිධත්වය හේතුකොට ගෙන පරිසරයේ සුන්දරත්වය වැඩි වේ. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන රටක් බව අපි දනිමු. ආසියානු කලාපයේ වැඩි ම සපුෂ්ප ශාක, උරගයින්, උභයජීවීන් හා ක්ෂීරපායී විශේෂ ඝනත්වය ඉහළ රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත. ඉහළ ජෛව විවිධත්වය සංචාරක ආකර්ෂණයට ප්‍රබල හේතුවකි.

ජෛව විවිධත්වය හේතුකොට ගෙන ජීවී විශේෂ අතර තරගය අඩු වී ඇත. ජීවීන් තම අවශ්‍යතා සඳහා නිරන්තර තරගයක යෙදී සිටී. ශාක ලෝකය සලකා බැලූ විට ආලෝකය, ඉඩකඩ, ජලය සහ වාතය වැනි පරිසරයෙන් ලබා ගත යුතු අවශ්‍යතා සඳහා තරගයක යෙදී සිටී. සත්ත්ව ලෝකය ආහාර, වාසස්ථාන, ආරක්ෂාව, සහකරුවන් තෝරා ගැනීම වැනි අවශ්‍යතා සඳහා තරග වැදී ඇත. මෙම තරගය අවම කර ගැනීමට ජෛව විවිධත්වය හේතු වේ.

නිදසුනක් ලෙස ශාක ජලය ලබා ගැනීමට දක්වන තරගය අවම කර ගැනීමට ජෛව විවිධත්වය හේතු වී ඇති ආකාරය සලකා බලමු. විවිධ ශාක මුල් විවිධ මටට්ම්වලින් ජලය ලබා ගැනීමට හැඩ ගැසී ඇත. (12.4 රූපය)

12.4 රූපය – ජලය සඳහා තරගය අඩු කර ගැනීමට ශාක මුල් සැකසී ඇති ආකාර කිහිපයක්

විවිධ පක්ෂී විශේෂවල හොටවල් විවිධ හැඩයෙන් යුක්ත බව අපි දන්නෙමු. ආහාරවලට ඇති තරගය අවම කිරීම සඳහා මෙය වැදගත් වේ. විවිධ පක්ෂීන් විවිධ ආහාර මත යැපෙන අතර එම ආහාරය අනුව ඔවුන්ගේ හොට හැඩ ගැසී ඇත (12.5 රූපය).

12.5 රූපය – පක්ෂීන්ගේ හොටවල විවිධත්වය

කෘෂිකර්මයේ දී භාවිත කරන බොහෝ ශාකවල හා සතුන්ගේ නොහික්ත දර්ශ (Wild types) බොහොමයක් ස්වාභාවික පරිසර පද්ධතිවල ඇත. පළිබෝධයින්ට ඔරොත්තු දීම, අහිතකර පරිසර තත්ත්ව දරා සිටීම, ලෙඩ රෝගවලට ඔරොත්තු දීම ආදියට හේතුවන ජාන මෙම නොහික්ත දර්ශවල ඇත. එම ජාන කෘෂිකර්මයේ දී හිතකර ලෙස භාවිතයට ගත හැකි වී තිබෙන්නේ ජෛව විවිධත්වය හේතුවෙනි.

ජෛව විවිධත්වය හේතුවෙන් එක් එක් ප්‍රදේශවලට ආවේණික ජීවී විශේෂ ඇති වී ඇත. එක් භූගෝලීය ප්‍රදේශයක හෝ රටක පමණක් දැකිය හැකි ජීවී විශේෂ ආවේණික විශේෂ ලෙස හැඳින්වේ. එම ආවේණික විශේෂ සංරක්ෂණයට මිනිසා යොමු වී තිබෙන්නේ ද මෙම පුළුල් ජෛව විවිධත්වය හේතුවෙනි.

12.6 රූපය – ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ කිහිපයක්

ජල මූලාශ්‍ර ආරක්ෂා වීම, පස ආරක්ෂා වීම, දේශගුණික සාධක හිතකරව පවත්වා ගැනීම, පරිසර දූෂණය අවම වීම සඳහා ද ජෛව විවිධත්වය වැදගත් ය. විනෝදාස්වාදය, විවිධ පර්යේෂණ හා අධ්‍යාපනික කටයුතු සඳහා ද ජෛව විවිධත්වය ඉතා වැදගත් වේ.