වස්තුවක් එසවීම, දොරක් ඇරීම හෝ වැසීම, බෝලයකට පහරදීම, මේසයක් තල්ලු කිරීම වැනි අවස්ථා පිළිබඳ සලකා බලන්න.එවැනි අවස්ථාවල දී අප කරන්නේ එම අදාළ වස්තු ඇදීමකට හෝ තල්ලු කිරීමකට භාජනය කිරීමකි.
එසේ තල්ලු කිරීමක් හෝ ඇදීමක් බලයක් ලෙස හැඳින්වේ.
සරලව ම පැවසුවහොත් බලයක් යනු ඇදීමක් හෝ තල්ලු කිරීමකි.
මේසයක් මත ඇති පොතක් තල්ලු කිරීමෙන් එම පොත ඉතා පහසුවෙන් චලනය කළ හැකි ය.
ඔබ සිටින දිශාවට වේගයෙන් එන බෝලයක් අල්ලා ගැනීමේ දී ඔබ කරන්නේ බලයක් යෙදීම මගින් බෝලය නිශ්චල කිරීම ය.
එවැනි බෝලයකට පිත්තකින් පහර දුන්නහොත් එවිට ඔබ කරන්නේ බලයක් යෙදීම මගින් බෝලය චලනය වන දිශාව සහ එය ගමන් කරන වේගය වෙනස් කිරීමකි.
රබර් බෝලයක් බිම තබා පෑගීම මගින් එහි එබීමක් සිදු කළ හැකි යග එම අවස්ථාවේ සිදුවන්නේ බලයක් යෙදීම මගින් වස්තුවක හැඩය වෙනස් කිරීමකි.
මේ අනුව බලයක් යෙදීම මගින්,
● නිශ්චල වස්තුවක් චලනය කළ හැකි ය.
● චලනය වන වස්තුවක් නිශ්චල කළ හැකි ය.
● චලනය වන වස්තුවක වේගය වෙනස් කළ හැකි ය.
● චලනය වන වස්තුවක දිශාව වෙනස් කළ හැකි ය.
● වස්තුවක හැඩය වෙනස් කළ හැකි ය.