අප ජීවත් වන සමාජයේ ඇතැමුන්ට ගරු සැලකිලි ලැබෙනුයේ ඔවුන්ගේ වත් පොහොසත්කම් නිසා ය; ඔවුන් සතු ව බොහෝ ධන ධාන්‍ය ඇති නිසාය. මෙලෙසින් ම සමහරු බලතල නිසා ද තවත් සමහරු නිලතල නිසා ද ගරු බුහුමන් ලබති. මේ හැරුණු විට කුල ගෝත්‍ර නිසා මෙන් ම කාය ශක්තිය නිසා ද, හැඩ රුව නිසා ද මිනිස්සු තවත් මිනිසුන්ගේ ගෞරවයට, සම්භාවනාවට හා ඇගයීමට පාත්‍ර වෙති. එහෙත් බුදු දහම අනුව අප තවත් කෙනෙකුට ගරු කළ යුත්තේ, සැලකිය යුත්තේ, තවත් අයකු අනුගමනය කළ යුත්තේ ධනවත්කම, බලවත්කම, නිලය, කුලය, ශරීරයේ හැඩරුව අනුව නොවේ; ගුණ නුවණ අනුවයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨතම අග්‍රගණ්‍ය කරුණ වන්නේ ගුණවත්කම හා නැණවත්කම ය. ඉහත කී ධනයෙන්, නිලයෙන්, බලයෙන් හෝ කාය ශක්තියෙන් වුව ද තමාටත් ලෝකයාටත් ඵලදායක යමක් කළ හැක්කේ ගුණ නුවණින් පිරිපුන් මිනිසාට ය.
ලෝකයෙහි එදා මෙදා තුර පහළ වූ ගුණවතුන් හා නැණවතුන් අතර අතිශ්‍රේෂ්ඨ උතුමාණන් වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. බෞද්ධයන් වන අපි උන් වහන්සේ තරම් ගුණ නුවණින් අගතැන්පත් වෙනත් කිසිවෙකු ගැන නොදනිමු. උන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක; අනන්ත නුවණ ඇති සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී පවා උන් වහන්සේගේ ගුණ නුවණ දඹදිව පුරා පැතිරී තිබිණි. රාජ රාජ මහාමාත්යයින්ගේ පටන් ඉතා අසරණ අහිංසක මිනිසුන් දක්වා බුදු ගුණයත්, බුදු නුවණත් ඇගයීමට හා සම්භාවනාවට ලක් වූ බව සූත්‍ර දේශනාවලින් පෙනේ. උන් වහන්සේ වෙත පැවති අනන්ත ගුණ නුවණ සැකෙවින් සංග්‍රහ කොට දැක්වෙන අවස්ථා අතර නව අරහාදී බුදුගුණ පාඨය වඩාත් ප්‍රකට ය.
පළමු ව බුද්ධ වන්දනාවේ දී අප ප්‍රකාශ කරනුයේ ඉහත කී නව ලොව්තුරා බුදු ගුණයි. එහෙත් එම බුදු ගුණවල අර්ථය නොදැන සජ්ඣායනා කිරීමෙන් හෝ වන්දනා කිරීමෙන් උසස් ප්‍රතිඵල නොලැබේ. අර්ථ මෙනෙහි කරමින් ඉහත කී පාඨය සජ්ඣායනා කළ යුතු ය. ඒ සමග ම අපට බුද්ධ වන්දනාව ද කළ හැකි වේ. එසේ අවබෝධයෙන් යුතු ව, නිසි ලෙස නව අරහාදී ලොව්තුරා බුදු ගුණ ප්‍රකාශ කරන, මෙනෙහි කරන, වන්දනා කරන තැනැත්තා තුළ සැදැහැවත් බව වැඩි දියුණු වෙයි; බුදුරදුන් පිළිබඳ විශාල ගෞරවයක් ද පැහැදීමක් ද සිත තුළ උපදියි. ඔහුට විසිරුණු සිත එක් තැන් කර ගත හැකි ය. බුද්ධානුස්සති නම් වූ භාවනාවට ඔහු යොමු වෙයි. හෙතෙම ශ්‍රද්ධාව පෙරටු කොට ගත් නිවන් මගට පිවිසෙන්නේ ය. දුක් සහිත සසර නිමා කරලන්නට මෙකී බුද්ධානුස්සතියත්, ශ්රද්ධාවත් මග සලසයි. එපමණක් නොව සසර බොහෝ සැප ලබන්නට උපකාරී වන පින් දහම් රැස්කර ගැනීමට ද මෙමගින් පෙළඹීමක් ඇති වෙයි. වැඳුම් පිදුම් කිරීමෙන් මෙන් ම වෙනත් වතාවත් කිරීමෙන් ද බුදු ගුණ දන්නා තැනැත්තා සසර සැප ලබන බොහෝ පින්කම් කරයි. එදිනෙදා ජීවිතයේ දී අප සිත් සතන් තුළ ඇතිවෙන බිය, තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම ආදියෙන් අත් මිදීමට ද නව අරහාදී බුදු ගුණ මෙනෙහි කිරීම නිසැක ව ම උපකාරී වන්නේ ය.