භගවා

සම්බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් හැඳින්වීම සඳහා නවගුණ පාඨයේ මුලින් මෙන් ම, අවසානයේ ද භගවා යන්න දක්වා ඇත. සෝ භගවා ඉති’පි ලෙස සෑම පදයක් පාසා ම මෙනෙහි කිරීම සිත පිනවමින් ශ්‍රද්ධාව ඉපදීමට හේතු කාරක වෙයි.

විශුද්ධි මාර්ගය නම් ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේ ‘භගවා’ ලෙස හැඳින්වීමට හේතු වූ කරුණු රැසක් දක්වා ඇත. ඉන් කරුණු කිහිපයක් මෙසේ ය;

● ලෞකික, ලෝකෝත්තර සැප ලැබීමට හේතු වන භාග්‍යය හෙවත් කුසල් ඇති නිසා.
● භග ධර්ම එනම් ඉසුරුමත් බව, කීර්තිය, රූප සම්පත්තිය ආදියෙන් යුක්ත වීම නිසා.
● රාග, ද්වේශ, මෝහ ආදි කෙලෙස් මුල් සිඳ බිඳ දමා ඇති නිසා.

බුදුගුණාලංකාරය භගවා බුදුගුණය මෙසේ දක්වයි.

ධර්මය බෙදා දැක්වූ බැවින් ද, අනූන ගුණයෙන් යුතු බැවින් ද, භාග්‍යවන්ත වූ බැවින් ද මුනීන්ද්‍රයන් වහන්සේ ‘භගවා’ නම් වූහ.

මේ ආකාරයෙන් අරහාදී බුදුගුණ නවයක් වුව ද, බුදුගුණ අලංකාරයේ වීදාගම මහා මෛත්‍රේය හිමිපාණන් විසින් කවි දහයකින් එය විස්තර කර ඇත.

මෙම උතුම් බුදුගුණ නිතර නිතර මෙනෙහි කරන්නේ නම් අප තුළ ශ්‍රද්ධාව වැඩි දියුණු වේ. සිත දූෂණය කරන කෙලෙස්වලට අප සිත් තුළ සැරිසැරීමට අවස්ථාව නොලැබේ. එම නිසා ලැබෙන සෑම මොහොතක ම බුදුගුණ මෙනෙහි කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. නිරතුරු ව ම බුදුගුණ සිතන, බුදුගුණ වර්ණනා කරන, බුදුගුණ සිහි කර වඳින දරුවන් වන්නට උත්සාහ කරමු. එමගින් අප තුළ ද ගුණ දම් වැඩෙයි.