කඩදාසියක් කුඩා කැබලිවලට ඉරන්න. තවත් කඩදාසියක් පුලුස්සන්න.
මෙම විපර්යාස දෙක අතර වෙනස ඔබට පැහැදිලි කළ හැකි ද?
කඩදාසිය කැබලිවලට ඉරුව ද, ඒවා කඩදාසි ම ය. එබැවින් කඩදාසියක් ඉරීමේ දී එහි සංයුතිය කිසි ම වෙනසකට භාජන වන්නේ නැත.
කඩදාසිය කැබලිවලට ඉරීම නිසා කඩදාසි නොවන ද්‍රව්‍ය සෑදීමක් සිදු වූයේ නැත. එබැවින් එම විපර්යාසය භෞතික විපර්යාස නම් විපර්යාස ගණයට අයත් වේ.
යම් පදාර්ථයක පවතින ස්වභාවය වෙනසකට ලක් වුව ද, එම පදාර්ථයේ සංයුතිය වෙනසකට ලක් නොවන අන්දමේ විපර්යාසය භෞතික විපර්යාස ලෙස හැඳින්වේ.
එහෙත් කඩදාසිය දහනය කළ විට අළු හා දුම් සෑදේ. එහි දී කඩදාසියේ සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදු වී ඇත. එවැනි අන්දමේ විපර්යාස රසායනික විපර්යාස ලෙස හැඳින්වේ.
යම් පදාර්ථයක සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍ය සෑදීමක් සිදු වන අන්දමේ විපර්යාස රසායනික විපර්යාස ලෙස හැඳින්වේ.
භෞතික විපර්යාසවල ස්වභාවය අධ්‍යයනය කිරීමට 8.1 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.
ජලය සියල්ල වාෂ්ප වේ. බීකරය පත්ලෙහි ශේෂයක් දකින්නට ඇත. එම ශේෂය ජලයේ දිය වී තිබූ ලුණු ය. මින් පැහැදිලි වන්නේ ලුණු ජලයේ දිය කළ විට සිදු වන්නේ භෞතික විපර්යාසයක් බවයි.
රසායනික විපර්යාසවල ස්වභාවය පිළිබඳ ව අධ්‍යයනය කිරීමට පහත 8.2 ක්‍රියාකාරකමෙහි නිරත වෙමු.
දහනයට පෙර මැග්නීසියම් පටියෙහි ලෝහමය දිස්නයක් ඇත. දහනයේ දී දීප්තිමත් දැල්ලක් සහිත ව දැවී සුදු කුඩක් ඉතිරි වේ. මෙහි දී මැග්නීසියම්වල සංයුතිය වෙනස් වී නව ද්‍රව්‍යයක් සෑදී ඇත. එබැවින් මැග්නීසියම් පටිය දහනය වීම රසායනික ප්‍රතික්‍රියාවකි.
මේ ආකාරයට එදිනෙදා ජිවිතයේ දී අපට හමුවන විපර්යාස, භෞතික විපර්යාස හා රසායනික විපර්යාස ලෙස වර්ග දෙකකට බෙදිය හැකි ය.