දේහය තුළ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වනුයේ ඔක්සිජන් හා ග්ලූකෝස් ය. මෙම ද්‍රව්‍ය සෛල කරා පරිවහනය කිරීමටත් සෛල තුළ නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් වැනි නිෂ්ප්රයෝජන ද්‍රව්‍ය බැහැර කිරීමටත් පරිවහන මාධ්‍යය ලෙස ක්‍රියා කරනුයේ රුධිරයයි.
රුධිරය, ද්‍රව්‍ය පරිවහනය සදහා විශේෂණය වූ තරලමය පටකයකි.
රුධිරය රතු පැහැති ය. පරීක්ෂා නළයකට ගත් රුධිර සාම්පලයක් කේන්ද්රාභිසරණයට ලක් කර නිශ්චලව තැබූ විට පැහැදිලි ස්තර දෙකක් දක්නට ලැබේ. තද රතු පැහැති කොටස රුධිර දේහාණු වන අතර ලා කහ පැහැති තරලය රුධිර ප්ලාස්මය වේ.
මේ අනුව සමජාතීය තරලයක් ලෙස පෙනෙන රුධිරය, ප්ලාස්මයකින් හා එහි අවලම්බනය වූ දේහාණුවලින් යුක්ත ය. රුධිර බින්දුවක් වීදුරු කදාවක් මත තබා හෝ සකස් කරන ලද රුධිර කදාවක් අණ්වීක්ෂයකින් පරීක්ෂා කළ විට එහි දේහාණු වර්ග කිහිපයක් ඇති බව නිරීක්ෂණය කළ හැකි ය.
මිනිස් රුධිරයේ ඝන මිලිමීටරයක රතු රුධිරාණු මිලියන පහක් පමණ ඇත. දේහාණු අතරින් වඩාත් ප්රකටව පෙනෙන්නේ රතු පැහැති එමෙන්ම ද්වි අවතල හැඩයක් ඇති මණ්ඩලාකාර සෛල වන රක්තාණු ය. මේවා රතු ඇටමිදුළු තුළ හට ගනී. ආයු කාලය මාස හතරක් පමණ වේ. රක්තාණුවල න්‍යෂ්ටියක් නොමැති වීමෙන් එහි පෘෂ්ඨීය වර්ගඵලය වැඩි වී ඇත.
රක්තාණුවල කෘත්‍යය වනුයේ ඔක්සිජන් පරිවහනය කිරීමයි. මේ සඳහා රක්තාණුවල හිමෝග්ලොබින් නැමැති රතු පැහැති වර්ණකයක් අඩංගු වේ. ඔක්සිජන් හිමෝග්ලොබින් සමග බැදී ඔක්සිහිමෝග්ලොබින් ලෙස සෛල කරා පරිවහනය වේ.
රතු රුධිරාණුවලට වඩා විශාල නමුත් එතරම් බහුල නොවූ දේහාණු වර්ගයක් රුධිරයේ දක්නට ලැබේ. ඇටමිදුළු තුළ නිපදවෙන මෙම සෛල න්‍යෂ්ටි සහිත ය.
මෙම අවර්ණ සෛල සුදු රුධිරාණු හෙවත් ශ්වේතානු ලෙස හැඳින්වේ. රතු රුධිරාණු 600කට එකක් පමණ වන ලෙස සුදු රුධිරාණු ඇත.
සුදු රුධිරාණු වර්ග දෙකකි.
● සෛල ප්ලාස්මයේ කණිකා සහිත සුදු රුධිරාණු
● සෛල ප්ලාස්මයේ කණිකා නොමැති සුදු රුධිරාණු
කණිකා සහිත සුදු රුධිරාණු වර්ග තුනකි.
● නියුට්‍රොෆිල ● ඉයොසිනොෆිල ● බේසොෆිල
කණිකා රහිත සුදු රුධිරාණු වර්ග දෙකකි.
● වසා සෛල ● මොනොසෛට
මිනිස් රුධිරය ඝන මිලිමීටරයක (1 mm3)සුදු රුධිරාණු 4000 – 11000 දක්වා සංඛ්‍යාවක් ඇත. නිරෝගී පුද්ගලයකුගේ සුදු රුධිරාණු ප්‍රතිශත 6.4 වගුවෙහි දැක්වේ.
බොහෝ රෝගවල දී මෙම සුදු රුධිරාණු සංඛ්‍යා නියමිත ප්‍රතිශතවලට වඩා වැඩි වීම සිදුවේ. මිනිස් රුධිරයේ ඇති සුදු රුධිරාණු සංඛ්‍යා අනාවරණය කර ගැනීම මගින් එම රෝග තත්ත්ව විනිශ්චය කළ හැකි ය.
සුදු රුධිරාණුවල කෘත්‍ය වනුයේ දේහයට ඇතුළු වන බැක්ටීරියා වැනි විෂබීජ විනාශ කර දේහය ආරක්ෂා කිරීමයි. විෂබීජ භක්ෂණය කිරීම හා ප්‍රතිදේහ නිපදවීම මගින් මෙම ක්‍රියාවලිය සිදු කරයි.
රතු රුධිරාණු හා සුදු රුධිරාණුවලට අමතර ව, රුධිරයෙහි සෛල ලෙස හැඳින්විය නොහැකි සෛල කැබලි දැකිය හැකි ය. න්‍යෂ්ටියක් නොමැති මෙම දේහාණු පට්ටිකා ලෙස හැඳින්වේ.
නිරෝගී පුද්ගලයකුගේ රුධිරය ඝන මිලිමීටරයක රුධිර පට්ටිකා 150 000-400 000 අතර සංඛ්‍යාවක් ඇත. මේවා ඇට මිදුළුවල හට ගනී. පට්ටිකාවල ආයු කාලය දින 5-7 දක්වා පමණ වේ. ඩෙංගු, මී උණ වැනි රෝග නිසා පට්ටිකා සංඛ්‍යාව අධික ලෙස පහළ බසී. පට්ටිකා තුළ අඩංගු ත්‍රොම්බොප්ලාස්ටින් නම් ද්‍රව්‍ය රුධිරය කැටි ගැසීමට දායක වේ.
රුධිර ප්ලාස්මයේ 92%ක් පමණ ජලය වේ. ඊට අමතරව වැඩිපුර ම ඇත්තේ ප්‍රෝටීන යි. පෝෂක, නයිට්‍රජනීය අපද්‍රව්‍ය, හෝර්මෝන, එන්සයිම, වායු හා අයන වර්ග ද රුධිර ප්ලාස්මයේ අඩංගු වේ.
● ද්‍රව්‍ය පරිවහනය (ශ්වසන වායු, ජීරණ ඵල, බහිස්ස්‍රාවි ද්‍රව්‍ය, හෝර්මෝන, පට්ටිකා හා ප්‍රෝටීන්, ඛනිජ අයන)
● රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියා කොට දේහය ආරක්ෂා කර ගැනීම (සුදු රුධිරාණු මගින් විෂබීජ භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම මගින්)
● විවිධ පටක හා අවයව අතර රසායනික සමායෝජනය හා සමස්ථිතිය පවත්වා ගැනීම
රුධිර නාළ තුළින් රුධිර සංසරණය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමෙහි යෙදෙන්න.
රුධිර නාළ හරහා රුධිරය ගමන් කරන බව ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එසේ රුධිරය ශරීරය පුරා රුධිරය ගමන් කරවීමට අවශ්‍ය බලය යොදනුයේ හෘදය මගිනි.
පහත දැක්වෙන ක්‍රියාකාරකම සිදුකර හෘදයේ ව්‍යුහය පිළිබඳ අවබෝධය ලබා ගන්න.
හෘදයේ වම් කෝෂිකාවෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනිය ශාඛාවලට බෙදෙමින් විවිධ අවයවවලට ඔක්සිජනිකෘත රුධිරය සපයයි. සංස්ථානික මහා ධමනිය හා ශාඛා ධමනි සියල්ල එක්ව ගත් කළ හඳුන්වනු ලබන්නේ ධමනි පද්ධතිය යනුවෙනි. හෘදයේ දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන පුප්ඵුශීය මහා ධමනිය ඔක්සිජනීහෘත රුධිරය පෙනහැලි කරා රැගෙන යයි.
අවයවවලට රුධිරය සපයන ධමනිකා අවයව තුළ දී තවදුරටත් කේශනාලිකාවලට බෙදේ. එම කේශනාලිකා එක් වී අනු ශිරා සෑදේ. ඔක්සිජනීහෘත රුධිරය ශිරා හරහා අවයවවලින් බැහැරට ගෙන යනු ලබයි. ශරීරයේ අධර කොටසේ ශිරා සියල්ල එකතුවී අධර මහා ශිරාව ද උත්තර කොටසේ ශිරා සියල්ල එකතු වී උත්තර මහා ශිරාව ද සෑදේ. එම ශිරා දෙක සහ අනෙකුත් ශිරා සියල්ල හදුන්වනු ලබන්නේ ශිරා පද්ධතිය යනුවෙනි. ධමනි මගින් රුධිරය සපයනු ලබන සෑම ඉන්ද්‍රියකින්ම ශිරාවක් ආරම්භ වී උත්තර හෝ අධර මහා ශිරාවට සම්බන්ධ වේ. ඒවා දකුණු කර්ණිකාවට විවෘත වේ. නමුත් පෙනහැලිවල සිට ඔක්සිජනීකෘත රුධිරය පුප්ඵුශීය ශිරා ඔස්සේ වම් කර්ණිකාවට පැමිණේ.
ධමනි හා ශිරා පද්ධති හරහා රුධිරය සංසරණය වන ආකාරය පහත රූපයේ දැක්වේ.
පෙනහැලි හරහා රුධිරය ගමන් කිරීම පුප්ඵුශීය රුධිර සංසරණය ලෙස ද සිරුරේ ඉතිරි කොටස් ඔස්සේ රුධිරය ගමන් කිරීම සංස්ථානික රුධිර සංසරණය ලෙස ද හැඳින්වේ. පුප්ඵුශිය රුධිර සංසරණයේ පොම්පය ලෙස හෘදයේ දකුණු කෝෂිකාව ද සංස්ථානික රුධිර සංසරණයේ පොම්පය ලෙස හෘදයේ වම් කෝෂිකාව ද උත්තර මහා ශිරාව ක්‍රියාකරයි. මේ අනුව ඔක්සිජනීකෘත රුධිරය සංස්ථානික මහා ධමනියට ඇතුළු වීමට පෙර හෘදය හරහා දෙවරක් ගමන් කරන බව පැහැදිලි ය. දේහය හරහා එක් වරක් රුධිරය ගමන් කිරීමේ දී හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කිරීම ද්විත්ව රුධිර සංසරණය ලෙස හැඳින්වේ.
කර්ණිකා හා කෝෂිකා සංකෝචනය වීම නිසා හෘදයෙන් රුධිරය පොම්ප කිරීම සිදුවේ. මේ අකාරයට හෘදය සංකෝචනය වීම හා ඉහිල් වීම හෘත් ස්ඵන්දනය (Heart beat) ලෙස හැඳින්වේ. විවේකීව සිටින නිරෝගී පුද්ගලයකුගේ හෘත් ස්ඵන්දන ශීඝ්‍රතාව මිනිත්තුවකට වාර 72ක් පමණ වේ. නාඩි වැටෙන ශීඝ්‍රතාව ද මීට සමාන ය.
හෘත් ස්ඵන්දනයක දී හෘත් කර්ණිකා දෙක සංකෝචනය වන විට හෘත් කෝෂිකා දෙක එකවර ඉහිල් වේ. මී ළඟට හෘත් කෝෂිකා දෙක සංකෝචනය වන විට කර්ණිකා දෙක ඉහිල් වේ. කෝෂිකා සංකෝචනය කෝෂික ආකුංචය (තත් 0.3) ලෙස ද කර්ණිකා සංකෝචනය වීම කර්ණික ආකුංචය (තත් 0.1) ලෙස ද හැඳින්වේ. කෝෂික ආකුංචයෙන් පසු සුළු මොහොතකට (තත් 0.4) කෝෂිකාත් කර්ණිකාත් ඉහිල් වී විවේකීව පවතී. මෙම අවස්ථාව කර්ණික-කෝෂික විස්තාරය හෙවත් පූර්ණ හෘත් විස්තාරය ලෙස හැඳින්වේ. මෙම සිද්ධීන් ශ්‍රේණිය හෘත් චක්‍රය (Heart cycle) ලෙස හැඳින්වේ. හෘත් චක්‍රයේ අවස්ථා පහත සඳහන් වේ.
හෘදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට, විද්‍යුත් කන්තුක රේඛන සටහන් (Electro Cardio Gram – ECG) යොදා ගනු ලැබේ. හෘදය ක්‍රියාකරවීමේ දී හෘත් පේශී තන්තුවල පටලයේ ඇති වන විභව වෙනස් වීම් අනුව ලබා ගන්නා මෙම සටහනේ හෘත් චක්‍රයේ අවස්ථා තුන හඳුනා ගත හැකි ය. (6.24 රූපය)
P – කර්ණික ආකුංචය
QRS – කෝෂික ආකුංචය
T – කර්ණික – කෝෂික විස්තාරය
ECG තරංග රටා අසාමාන්‍ය වීමෙන් හෘදයේ ක්රියාකාරීත්වයේ දුර්වලතා හඳුනාගත හැකි ය.
පපුව මත කන තැබූ විට හෝ වෙද නළාවක් තැබූ විට හෝ හෘද ස්ඵන්දනය වීමේ දී ඇතිවන ලබ්-ඩප් ශබ්දය ඇසිය හැකි ය. ලබ් ශබ්දය ඩප් ශබ්දයට වඩා දිගු ය. ලබ් ශබ්දය ඇතිවනුයේ කෝෂික ආංකුචයේ දී ද්වීතුණ්ඩ හා ත්රීතුණ්ඩ කපාට වැසෙන විට ය. ඉන්පසු ඇතිවන ඩප් ශබ්දය කෙටි ය. අඩසඳ කපාට වැසීම නිසා ඩප් ශබ්දය ඇති වේ.
රුධිරවාහිනි තුළ ඇති රුධිරය මගින්, රුධිරවාහිනී බිත්ති මත යොදන පීඩනය රුධිර පීඩනය නම් වේ. කෝෂික ආකුංචය මගින් හෘදයෙන් ඇති කරන පීඩනය නිසා ධමනි බිත්ති මත ඇති වන පීඩනය, ශිරා බිත්ති මත ඇතිවන පීඩනයට වඩා වැඩි ය. වම් කෝෂිකාව සංකෝචනය වී සංස්ථානික මහා ධමනිය තුළට රුධිරය තල්ලු කිරීමේ දී ඇතිවන පීඩනය ආකුංච රුධිර පීඩනය (Systolic pressure) නම් වේ.
නිරෝගී වැඩිහිටියකුගේ මෙම පීඩනය රසදිය මිලිමීටර 110-120 ක් (110-120 mm Hg) පමණ වේ. පූර්ණ හෘත් විස්තාරය සිදුවන විට, සංස්ථානික මහා ධමනි බිත්ති මත ඇතිවන පීඩනය විස්තාර රුධිර පීඩනය (Diastolic Pressure) නම් වේ. නිරෝගී වැඩිහිටියකුගේ මෙම පීඩනය, 70-80 mm Hg පමණ වේ. මෙම රුධිර පීඩන වෛද්‍ය කටයුතුවල දී සඳහන් කරනුයේ පහත සඳහන් ආකාරයටයි.
වයස්ගත වීම, ස්ත්‍රී/ පුරුෂභාවය, කැළඹුණ මානසික තත්ත්ව, රෝග ආදිය සාමාන්‍ය රුධිර පීඩනය වෙනස් කිරීමට හේතු වේ.
රුධිර සංසරණ පද්ධතිය හා සමීපව ක්‍රියාකරන තවත් පරිවහන පද්ධතියක් මිනිස් සිරුරේ පවතී. එය වසා පද්ධතිය යි.
දේහ පටකවල සෛල අතරින් රුධිරය පරිවහනය කෙරෙනුයේ රුධිර කේශනාලිකා මගිනි. මේවායේ බිත්ති ඉතා තුනී ය. එම නිසා රුධිර කේශනාලිකා බිත්ති හරහා සුදු රුධිරාණුවලට සහ රුධිර ප්ලාස්මයට පමණක් ගමන් කළ හැකි ය. රතු රුධිරාණු සහ ඇතැම් ප්ලාස්ම ප්‍රෝටීනවලට එසේ ගමන් කළ නොහැකි ය. පටක අතරට ගිය මෙම තරලය, පටක තරලය ලෙස හැඳින්වේ. දේහ සෛල හා රුධිරය අතර ද්‍රව්‍ය හුවමාරුව සිදුවනුයේ මෙම තරලය ඔස්සේ ය.
රුධිර කේශනාලිකා බිත්තිය හරහා පටක අතරට ගමන් කරන රුධිර ප්ලාස්මයෙන් කොටසක් රුධිර කේශනාලිකා තුළට ආපසු විසරණය වන නමුත් ඉන් දහයෙන් එකක් (1/10ක්) පමණ අන්තර් සෛලීය අවකාශ තුළ ඉතිරි වෙයි. මෙසේ ඉතිරි වන පටක තරලය, විශේෂ නාළ පද්ධතියක් මගින් රුධිර සංසරණ පද්ධතියට එක්කරයි. මෙම විශේෂ නාළ පද්ධතිය, වසා පද්ධතිය ලෙස හැඳින්වේ.
වසා පද්ධතියේ වසා කේශනාලිකා තුළට ඇතුළු වන පටක තරලය වසා තරලය ලෙස හැඳින්වේ.
වසා පද්ධතිය සමන්විත වී ඇත්තේ පයෝලස නාලිකා, වසා කේශනාලිකා හා වසා ගැටිතිවලිනි. වසාවාහිනී අවට ඇති පේශිවලින් ඇතිවන තෙරපීම, වසා තරලය ගලා යාමට ආධාර වේ. ශරීරයේ තිබෙන සියලු වසාවාහිනී එකතු වී ප්‍රධාන වසා වාහිනී දෙකක් සෑදේ. උරස් ප්‍රණාලය හා දකුණු වසා ප්‍රණාලය එම වාහිනී දෙකයි. උරස් ප්‍රණාලය වම් අධෝක්ෂ ශිරාවට ද දකුණු වසා ප්‍රණාලය දකුණු අධෝක්ෂ ශිරාවට ද විවෘත වී අවසානයේ දී වසා තරලය රුධිර සංසරණ පද්ධතියට එක් වේ.
වසා පද්ධතියේ ප්‍රධාන කෘත්‍යය වනුයේ සිරුරට ඇතුළු වන බැක්ටීරියා වැනි ආසාදක ජීවීන් විනාශ කිරීමයි. වසා ගැටිති තුළ ඇති සුදු රුධිරාණු මගින් ආසාදක ජීවීන් භක්ෂණය කරනු ලැබේ. එවිට වසා ගැටිතිවල ක්‍රියාකාරිත්වය වැඩිවී ඒවා ඉදිමීම සිදුවේ. මෙම ඉදිමුනු වසා ගැටිති සාමාන්‍යයෙන් කුද්දෙටි ලෙස හැඳින්වේ. වසා ගැටිති සිරුරේ අක්මාව, හෘදය, අන්ත්රය වැනි ඉන්ද්රියයන් අවට ද සම, ඉකිලි, කිහිලි, උගුර ආදී ස්ථානවල බහුලව පිහිටා ඇත.
කොලෙස්ටෙරොල් යනු අක්මාවේ නිපදවෙන ශරීරයට අත්‍යවශ්‍ය ලිපිඩමය සංයෝගයකි. කොලෙස්ටෙරොල් ජලයේ අද්‍රාව්‍ය නිසා රුධිරය ඔස්සේ පරිවහනය කෙරෙනුයේ විශේෂිත ප්‍රෝටීන් සමග සම්බන්ධ වී ලිපෝප්‍රෝටීන් ලෙස ය. ලිපෝප්‍රෝටීන්, අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන් (LDL) හා වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන් (HDL) යනුවෙන් කාණ්ඩ දෙකකි. රුධිරයේ අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන් අධිකව තිබීම නිසා කිරීටක ධමනි හා වෙනත් ධමනි බිත්තිවල කොලෙස්ටෙරොල් තැන්පත් වී ධමනි කුහරය පටු වේ. ධමනි බිත්තිවල මෙසේ ඇතිවන ලිපිඩ තැන්පතු ඇතරෝමා ලෙස ද එම තත්ත්වය ඇතරොස්ක්ළෙරෝසියාව ලෙස ද හැඳින්වේ.
කිරීටක ධමනි අවහිරවීමෙන් හෘදයට රුධිරය සැපයීම අවහිර වේ. එවිට හෘත් පේශී කොටස් ක්‍රියා විරහිත වීමෙන් උරස් සම්බාධය (Angina) හෙවත් පපුවේ වේදනාව ඇති වේ. කිරීටක ධමනියේ හෝ එහි ශාඛාවල ලේ කැටි සිරවී හෘදයාබාධ ඇති වීමෙන් මරණයට පත් වේ.
රුධිරයේ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන් හා කොලෙස්ටෙරොල් අධික වීමට හේතුවක් ලෙස, සංතෘප්ත මේද අම්ල බහුල ආහාර (ගවමස්, ඌරුමස්, එළුමස්, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, බිත්තර කහ මදය, සහ පීකුදු වැනි ආහාර) ගැනීම දැක්විය හැකි ය. එවැනි ආහාර භාවිතය පාලනය කිරීම හා නිසි ව්‍යායාම මගින් ඇතරොස්ක්ළෙරෝසියා තත්ත්වය පාලනය කළ හැකි ය.
ධමනිවල අභ්‍යන්තර බිත්ති මත කොලෙස්ටෙරොල් තැන්පත් වීම නිසා ඒවායේ කුහර කුඩා වේ. එවිට ශරීරයේ විවිධ කොටස්වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසා වැඩි පීඩනයක් යටතේ රුධිරය පොම්ප කිරීමට හෘදය පෙළඹේ. මෙසේ වැඩි පීඩනයක් ධමනි බිත්ති මත යෙදීම නිසා ඇතිවන තත්ත්වය අධ්‍යාතතිය හෙවත් අධිරුධිර පීඩනය නම් වේ. ධමනි හා ධමනිකා බිත්තිවල ප්‍රත්‍යස්ථතාව අඩුවීම ද මෙයට හේතුවකි.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට සංතෘප්ත මේද බහුල ආහාර භාවිතය අඩුකිරීම වැදගත් වේ. දුම්බීමෙන් හා මත්පැන් පානයෙන් වැළකීමත්, මානසික ආතතිය අඩුකර ගැනීමත් ස්ථූලභාවය අඩුකර ගැනීමත්, අධිරුධිර පීඩනය වළක්වා ගැනීම සඳහා වැදගත් වේ.
මන්දාතතිය යනු අවරුධිර පීඩනයයි. මෙහිදී සාමාන්‍ය රුධිර පීඩනයට වඩා රුධිර පීඩනය අඩු වේ. පෝෂණ ඌනතා නිසා රුධිර පරිමාව අඩුවීම මෙයට ප්‍රධාන හේතුවක් වේ. මෙවැනි අවස්ථාවල දී රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කඩිනමින් ප්‍රතිකාර කළ යුතු ය.
රුධිර කැටියක් මගින් රුධිර නාළ, අවහිර වී යම් අවයවයකට රුධිර සැපයුම අඩාල වීම ත්‍රොම්බෝසිය ලෙස හැඳින්වේ. ත්‍රොම්බෝසිය නිසා මොළයේ යම් කොටසකට රුධිරය සැපයීම අඩාල වූ විට මොළයේ ස්නායු සෛල මිය යාමෙන් එම කොටසින් පාලනය වන ක්‍රියා අඩපණ වේ. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් හැඳින්වනුයේ අංශභාගය හෙවත් ආඝාතය නමිනි. කිරීටක ධමනියක හෝ ධමනිකාවක ත්‍රොම්බෝසිය ඇතිවීමෙන් හෘත්පේශිය දුර්වල වී හෘදය ක්‍රියා විරහිත වීමට පවා ඉඩ ඇත. මෙම තත්ත්වය හඳුන්වනු ලබන්නේ කිරීටක ත්‍රොම්බෝසිය නමිනි.
ත්‍රොම්බෝසිය වළක්වාගැනීමට අවශ්‍ය පියවර කුඩා කාලයේ සිට ම අනුගමනය කළ යුතු බව වෛද්‍ය මතය යි. එවැනි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දක්වා ඇත.
● දුම්පානයෙන් හා මත්පැන් භාවිතයෙන් වැළකීම
● සංතෘප්ත මේද අඩංගු ආහාර භාවිතය අඩුකිරීම
● තන්තු අඩංගු ආහාර (එළවළු හා පලතුරු) භාවිතය වැඩි කිරීම
● ලුණු භාවිතය අඩු කිරීම
● රුධිර පීඩනය පාලනය කර ගැනිම
● දියවැඩියා තත්ත්වය පාලනය කර ගැනීම
● යහපත් ආහාර පුරුදු මගින් ශරිරයේ බර අඩු කර ගැනීම
● කායික ව්‍යායාමවල නිතිපතා යෙදීම
● සැහැල්ලු මනසකින් ජීවත් වීම
හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව සඳහා පවුල් ඉතිහාසයක් තිබේ නම් ඉහත කරුණු පිළිබඳව වඩා සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.