ලප සේ සඳ විලසේ – හැඳින්වීම

සාහිත්‍යය යනු භාෂාව මාධ්‍ය කොට ගෙන හැඟීම් ප්‍රබලාකාරයෙන් දැනවීම සඳහා මානවයා ගොඩනගා ගත් මාර්ගයකි. ගද්‍ය, පද්‍ය හා චම්පු යනුවෙන් සාහිත්‍යයේ ප්‍රධාන ප්‍රභේද තුනකි. පද්‍යය යනු තාලානුකූලභාවයෙන් යුක්ත වන සේ කරන ලද පද සංයෝජනයකි. සිංහල පද්‍යයට, සිංහල භාෂාවේ ඉතිහාසය තරමට ම දිගු ඉතිහාසයක් පවතී. සිංහල පද්‍ය නිර්මාණයට බොහෝ විට වස්තු වූයේ බුදු සිරිත හෝ බෝසත් සිරිත ය. මෙය පැරණි කවීන් අතර සම්මුතියක් බඳු විය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, පාලි හා සංස්කෘත මෙන් ම දෙමළ සාහිත්‍යය ද ඇසුරෙන් සකස් වූවකි. සහජ කවිත්වයත් පෘථුල සංස්කෘතික විඥානයත් සහිතව සම්භාව්‍ය සාහිත්‍යයෙන් බැහැර වූ සාහිත්‍ය ධාරාවක් ද පැතිර ආවේ ය.’වෙස්සන්තර ජාතක කාව්‍යය’ ඒ ධාරාවේ මුල් පෙළේ කෘතියකි. මේ පාඩමට ඇතුළත් වන්නේ එයින් උපුටා ගත් කවි කිහිපයකි.