ශාකයක වර්ධනය සඳහා වාතය, ජලය, ආලෝකය හා ඛනිජ ලවණ වැනි දෑ අවශ්‍ය බව ඔබ දන්නා කරුණකි. මීට අමතරව ශාකය තුළ නිපදවෙන ඇතැම් රසායනික ද්‍රව්‍යය ද ශාක වර්ධනය කෙරෙහි බලපාන බව සොයාගෙන ඇත.
බීජයක් ප්‍රරෝහණය වූ පසු එහි ප්‍රරෝහය ඉහළටත් මුල් පහළටත් වර්ධනය වන්නේ කෙසේ දැයි ඔබ සිතා බැලුවෙහි ද? ඒ සඳහා 7.1 a රූපය හා 7.1 b රූපය හොඳින් නිරීක්ෂණය කරන්න.
පෝච්චිය පෙරලුණ ද ශාකයේ අග්‍රස්ථය ඉහළට වර්ධනය වීමටත් එහි මුල් පහළට වර්ධනය වීමටත් හේතු මොනවා ද? ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට ක්‍රියාකාරකම 7.1හි නිරත වෙමු.
අග්‍රස්ථය සහිත ශාකයෙහි උස වැඩි වන බවත්, අග්‍රස්ථය කපා දැමූ ශාකයේ උස වෙනස් නොවන බවත් ඔබට නිරීක්ෂණය කළ හැකි ය. එබැවින් ශාකයේ උස වැඩි වීම කෙරෙහි අග්‍රස්ථයේ බලපෑමක් ඇති බව අනුමාන කළ හැකි ය. ඒ පිළිබඳව තව දුරටත් සොයා බැලීම සඳහා ක්‍රියාකාරකම 7.2හි නිරත වන්න.
අග්‍රස්ථය සහිත ශාකය දිනෙන් දින ආලෝකය දෙසට හැරී වැඩෙන බවත්, අග්‍රස්ථය කපා දැමූ ශාකය ආලෝකය දෙසට හැරීමක් සිදු නොවන බවත්, ඔබට නිරීක්ෂණය කළ හැකි ය. එබැවින් ශාකයක් ආලෝකය දෙසට හැරී වැඩීමට එහි අග්‍රස්ථයේ බලපෑමක් ඇති බව නිගමනය කළ හැකි ය. ශාක අග්‍රස්ථයේ නිපදවෙන රසායනික සංයෝග මේ සඳහා හේතු වේ.
මෙසේ ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඇතැම් වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය උත්තේජනය කරන අතර ඇතැම් වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිශේධනය කරයි.
ශාකවල වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය කිහිපයක් පහත සඳහන් වේ.
● ඔක්සීන්
● ගිබෙරලීන්
● සයිටොකයිනින්
ශාක කඳේ අග්‍රස්ථයෙහි හා මුලේ අග්‍රස්ථයෙහි නිපදවෙන වර්ධක ද්‍රව්‍යයක් වන ඔක්සීන් කඳෙහි හා මුලෙහි සෛලවල දික්වීම පාලනය කරයි. කඳෙහි අග්‍රස්ථය ආලෝකය දෙසට වැඩෙන්නේ කඳෙහි දෙපැත්තේ සිදු වන අසමාකාර සෛල දික්වීම නිසා ය (7.4 රූපය)
ශාක කඳ අග්‍රස්ථයේ නිපදවෙන ඔක්සීන් මදක් පහළට විසරණය වේ. එමගින් එම ප්‍රදේශයේ සෛලවලින් නව සෛල සෑදීම වේගවත් කෙරේ. එවිට ශාක අග්‍රස්ථය ඉහළට වර්ධනය වේ. ස්වාභාවිකව ශාකවල හමුවන ඔක්සිනයක් වනුයේ ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් ය (IAA).
එසේ ම ශාකයට ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තේ ඔක්සීන් වැඩි ප්‍රමාණයකින් ද, ආලෝකය වැඩියෙන් ලැබෙන පැත්තේ ඔක්සීන් අඩු ප්‍රමාණයකින් ද එක් රැස් වේ.
එවිට ආලෝකය අඩු පැත්තේ සෛල දික් වීම හේතුවෙන් ශාකයේ අග්‍රස්ථය ආලෝකය ඇති දෙසට හැරී වර්ධනය වීමක් සිදු වේ. එමෙන් ම ඔක්සීන් මගින් ශාකවල පාර්ශ්වික අංකුර වර්ධනය කිරීම නිශේධනය කරයි. අග්‍රස්ථය කැපූ විට රිකිලි දැමීම සිදු වන්නේ ඒ නිසා ය (7.5 රූපය).
උද්‍යාන විද්‍යාවේ දී පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා ඒවායේ අග්‍රස්ථය කප්පාදු කිරීම සිදු කරයි.
ගිබෙරලීන්, ශාක කඳන්වල දික්වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. එමෙන් ම ඵල වර්ධනය කෙරෙහි ද බලපෑමක් ඇති කරයි.
සයිටොකයිනින් මගින් සෛල විභාජනය වේගවත් කරයි. එමගින් පුෂ්ප, පත්‍ර, ඵල හා මුල්වල වර්ධනය ද ශාකවල බීජ ප්‍රරෝහණය ද වේගවත් කරයි. එසේ ම ශාකවල වියපත් වීම ප්‍රමාද කරයි.
ශාක පත්‍ර සහ ඵල මේරූ විට ඒවා පතනය වන්නේ ඇයි?
ස්වාභාවිකව වර්ධනය අවසන් වී ගිලිහුණු ශාක පත්‍රවල නටුවෙහි කෙළවර හා වර්ධනය වෙමින් පවතින කැඩූ පත්‍ර නටුවේ කෙළවර පරීක්ෂා කර බැලීමෙන් මේ පිළිබඳව අධ්‍යයනය කළ හැකි ය. ඵල සහ පත්‍ර පතනයේ දී ඒවායේ නටුවෙහි කඳට ආසන්නව ඡේදස්තරය (Abscission Layer) නැමැති පටක ස්තරයක් හට ගනී. ඡේදස්තරය සෑදීමට හේතු වන්නේ ඵල සහ පත්‍ර මේරීමත් සමග ඒවායේ නිපදවෙන වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීමයි. ඡේදස්තරය හේතුවෙන් පත්‍ර සහ ඵල ශාකයෙන් ගිලිහීම සිදු වේ.