සරණ මංගල්‍යය

අඹුසැමි ජීවිතයක ආරම්භය සරණ මංගල්‍යයයි. තරුණ පිරිමි දරුවකුට තරුණියක කැඳවාගෙන ඒම ආවාහය වන අතර, තරුණියක තරුණයකුට සරණ කර දීම විවාහය නම් වේ. ලේ නෑකම් අනුව නුසුදුසු ලෙස සැලකෙන අය අතහැර ආවාහ – විවාහ සබඳතා පැවැත්වීම සිරිතකි. නෑනා – මස්සිනා විවාහය විටෙක පැරණි සමාජයේ සිදුවූ අතර ඒ හා සම්බන්ධ විවිධ චාරිත්‍ර ද ගොඩනැගී පැවතුණි.

නිවැරැදි සබඳතා ගිහි ජීවිතයේ සාර්ථකත්වයට වෙසෙසින් බලපාන බැවින් දරුවන්ගේ කැමැත්ත අනුව ම ආවාහ – විවාහ සිදුකර දීමට බෞද්ධ දෙමාපියෝ උත්සාහ කරති. දෙමාපියන්ගේ අකැමැත්ත මත තම හිතුමතයට ආවාහ-විවාහ කරගැනීම බෞද්ධ සිරිත නොවේ. ගැළපෙන පවුලකින් යෝජනාවක් ලැබුණු පසු මනාලයාගේ පාර්ශ්වයේ මවුපියෝ ද සමීප ඥාතීහු ද මනාලියගේ ගෙදරට යති; මනාලයාගේ නිවසට මනාලියගේ පාර්ශ්වයේ ඥාතීහු පැමිණෙති. එහි දී මනාලිය කැඳවාගෙන යාමක් සිදු නොවේ. මෙලෙස දෙපාර්ශ්වයේ ඥාතීන්ගේ පැමිණීම පැරණි වහරේ ගම්බිම් බැලීමට යෑම හෙවත් තොරතුරු සොයා බැලීමට යෑම යනුවෙන් හැඳින්විණි. දෙපාර්ශ්වයේ එකඟතාව මත මනාල යුවලගේ කේන්දර බලා ශුභ දිනයක්, ශුභ මොහොතක් යොදා ගනු ලැබේ. එදිනට විවාහ ලේකම්වරයා මනාලියගේ නිවසට කැඳවා හෝ විවාහ ලේකම් කාර්යාලයේ දී හෝ අදාළ ලියාපදිංචිය සිදු කෙරේ. මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ නම් දීම හෙවත් නම් ප්‍රසිද්ධ කිරීම යනුවෙනි. විවාහ මංගල උත්සවය ලෙස සැලකෙන්නේ මනාලිය මනාලයාගේ නිවසට කැන්දාගෙන එන දිනයයි. ඇතැම් විට උත්සව ශාලාවල ඒ වෙනුවෙන් අර්ථයෙන් තොර ප්‍රියසම්භාෂණ පැවැත්වූවත් එය සිංහල බෞද්ධ චාරිත්‍රය ම යැයි කිව නොහැකි ය. මනාලිය කැඳවාගෙන යාමට පැමිණෙන මනාල පාර්ශ්වයේ නෑදෑ හිතවතුන්ට මනාලියගේ දෙමාපියන් විසින් ආහාර පානවලින් සංග්‍රහ කරනු ලැබීම සම්මත චාරිත්‍රයයි.

මෙහිදී සාම්ප්‍රදායික ව සිදුකෙරෙන ක්‍රියාවලිය පෝරුවේ චාරිත්‍රය ලෙස හැඳින්වේ. ඇතැම් බෞද්ධයෝ විහාරස්ථාන තුළ මෙම පෝරුවේ චාරිත්‍රය ඉටුකරති. කිරිගහක දැවයෙන් ඉදිකරන කුඩා වේදිකාව මත සහල් සහ ලද පස් මල් අතුරා සුදු ඇතිරිල්ලකින් වසනු ලැබේ. සුබ මොහොත එළඹි පසු මනාලයාගේ මාමා කෙනකු විසින් මනාලයා ද මනාලියගේ මාමා කෙනකු විසින් මනාලිය ද පෝරුවට නැංවීම සිදුවේ. මනාලයාගේ වම් පසින් මනාලිය සිටුවීම පැරණි චාරිත්‍රයයි. එහි දී සිදුකෙරෙන බෞද්ධ චාරිත්‍රමය කටයුතු පහත දැක්වේ.

● මංගල යුවල පෝරුවට නැංවීමට පෙර පන්සිල්හි පිහිටුවා තෙරුවන් ගුණ සිහි කරවීම
● සිද්ධාර්ථ කුමරයාගේ හා යසෝදරා කුමරියගේ විවාහය සිදු වූ අයුරු විස්තර කොට එම අනුහසින් අවසර ඉල්ලීම
● බාලිකාවන් ලවා ජයමංගල ගාථා ගායනා කරවීම
● බුදුගුණ ඇතුළත් මංගල අෂ්ටක කියවීම
● මනාලිය සිය සහකාරිය ලෙස භාරගෙන ඇයට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සපයා දෙන බව අඟවමින් තැලි පිළි පැලඳවීම
● මනාලයාට කීකරුව ඔහුට අවශ්‍ය ආහාර පාන සකසා දෙන බව අඟවමින් බුලත් හුරුල්ලක් දී වැඳ කිරිබත් කවා පානීය ජලය පිළිගැන්වීම
● මනාලියගේ මෑණියට “කිරිකඩ හේල” නමින් හැඳින්වෙන වස්ත්‍රයක් පිළිගන්වා මවුකිරි පොවා ඇති දැඩි කළ දියණිය තමාට භාර දෙන අවස්ථාවෙහි කළ ගුණ සැලකීම

අනතුරුව මද්‍යසාරවලින් තොර ව ආහාර පාන ගෙන මනාල යුවලට ධර්මානුකූල උපදෙස් ලබා දී මනාලයාගේ නිවස කරා කැඳවාගෙන යෑම සිදු කෙරේ. එහි දී ඇතැම් අය මනාලියගේ ගමේ විහාරස්ථානයට හෝ සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයකට හෝ ගොස් තුනුරුවන් වැඳ පුදා ආශීර්වාදාත්මක සෙත් පිරිත් සජ්ඣායනාවක් සිදුකර ගනිති. එහි දී සඟරුවනේ අනුශාසනාවකට සවන් දීම සිරිතකි.

බුදුරදුන් දවස උග්ගහ සිටුතුමාගේ දියණිවරුන් පස්දෙනා ම විවාහ කර දුන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මහා දන් පැවැත්වීමෙන් පසු ව ය. ඇතැම් බෞද්ධයෝ මංගල දිනයට පෙර දිනයේ මනාලියගේ නිවසේ දී දන් පිරිනමති. මනාලයා ද ඊට සහභාගි වීම සිරිතකි.

මංගල උත්සවයට මනාලයාගේ නිවසට පැමිණෙන ඥාති හිතමිතුරන් ද මිත්‍රශීලී ව පිළිගෙන බත බුලතින් සංග්‍රහ කෙරේ. එහි දී ද මත්පැන්වලින් තොර ව රසවත් බොජුනෙන් සංග්‍රහ කිරීම සිංහල බෞද්ධ චාරිත්‍රයයි. එක්තරා පුවත්පතක ප්‍රසිද්ධ ප්‍රභූවරයකුගේ මංගල උත්සවයක් සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක මෙවැනි වාක්‍ය ඛණ්ඩයක් විය. “එහි ඉහළ ම රසවත් ආහාර තිබුණි. නමුත් මස් මාංස කිසිවක් නැත. ඉහළ ම රසවත් පාන තිබුණි. නමුත් මත් වතුර නැත.”

එසේ පස් පවින් වැළකී තුනුරුවන් පුදා අරඹන යුග දිවිය සාමකාමී, සමෘද්ධිමත් අනාගතයකට ප්‍රවේශයක් වන බව බෞද්ධ පිළිගැනීම ය.