ස්වාභාවික සම්පත් තිරසරව භාවිතය

ඔබේ පන්ති කාමරයේ දැකිය හැකි දේ කිහිපයක් නම් කරන්න. ඒවා සෑදීමට යොදා ගත් මූලික දේවල් මොනවා දැ යි යන්න සොයා බලා වගුවක් සකස් කරන්න. ඔබ සකස් කළ වගුව, 19.1 වගුව සමග සංසන්දනය කරන්න.

19.1 වගුව

පංති කාමරයේ ඇති දේ සෑදීමට මූලික වූ දේ ලැබුණේ කවර ස්වාභාවික ද්‍රව්‍යවලින් ද යන්න සොයා බලා තවත් වගුවක් සකස් කරන්න. ඔබ සකස් කළ වගුව, 19.2 වගුව සමග සංසන්දනය කරන්න.

19.2 වගුව

19.2 වගුවේ දෙවන තීරුවේ ඇති ද්‍රව්‍ය හොඳින් අධ්‍යයනය කරන්න. ඒවා හැඳින්විය හැක්කේ ස්වාභාවික සම්පත් යනුවෙනි.

ස්වාභාවික සම්පත් යනු මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන් තොර ව ස්වාභාවික ක්‍රියාකාරිත්වය තුළින් නිපදවුනු ද්‍රව්‍ය වේ.
මූලික ස්වාභාවික සම්පත් කිහිපයක් මෙසේ ය,
● ජලය
● ඛනිජ හා පාෂාණ
● ශාක
● දැව

මෙම ස්වාභාවික සම්පත් අනාගත පරපුරට ද භාවිත කිරීමට අවස්ථාව සලසා දීම ස්වාභාවික සම්පත්වල තිරසර භාවිතය ලෙස හැඳින්වේ.

දැන් අපි මෙම සම්පත් සහ ඒවායේ තිරසර භාවිතය පිළිබඳ ව තවදුරටත් සොයා බලමු.

ජලය

මිනිසකුට වාතය නොමැතිව මිනිත්තු කිහිපයකට වඩා ජීවත් විය නොහැකි ය. ජලය නොමැතිව සතියකට වඩා මිනිසකුට ජීවත් විය නොහැකි ය. ඒ අනුව පෘථිවියේ ඇති දෙවැනි වැදගත් ම ස්වාභාවික සම්පත ජලය වේ.

පෘථිවිය මත පවතින ජීවයේ පදනම ද ජලය වේ. වෙනත් ග්‍රහලෝකයක ජීවීන් සිටින්නේ දැ යි සෙවීම සඳහා විද්‍යාඥයන් සොයා බලන්නේ එහි ජලය පවතී ද? යන්නයි. ඊට හේතුව නම් ජීවය, ජලය පදනම් කොටගෙන පවතින්නක් වීමයි.

19.1 රූපය – ජලයේ ප්‍රයෝජන කිහිපයක්

අතීතයේ ජලය තිරසරව භාවිත කළ ආකාරය

පොළොව මතුපිටට ස්වාභාවිකව ජලය ලැබෙන ක්‍රමය වර්ෂාවයි. වැසි ජලය ක්‍රමානුකූලව භාවිත නොකළහොත් එය ඇළ දොළ ගංගා ඔස්සේ මුහුදට ගලා යනු ඇත. “අහසින් වැටෙන එකඳු දිය බිඳුවක්වත් මිනිසාගේ හෝ සතා සීපාවාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතු ය.” යනුවෙන් මහා පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කර තිබේ.

අතීතයේ විසූ අපේ මුතුන් මිත්තන් විසින් ජලය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා කරනු ලැබූ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් ලෙස වැව හැඳින්විය හැකි ය.

19.2 a රූපය – පරාක්‍රම සමුද්‍රය
19.2 b රූපය – වැවක වැදගත් අංග

ජල සම්පාදනය දුර්වලව පවතින ප්‍රදේශයකට ජලය ලබා ගැනීමට හෝ වැසි ජලය එකතු වීමට ගඟක්, ඔයක් වැනි ජල ධාරාවක් හරස් කර බැම්මක් බැඳ තැනූ ජලාශය වැවක් ලෙස හැඳින්වේ.

ලොව කිසිම රටකට නොදෙවෙනි වාරි තාක්ෂණයක් ශ්‍රී ලංකාවේ පැවති බවට සාක්ෂි ලැබී ඇත. දැනට ද අප රටේ ගොවිතැන් සඳහා ජලය සපයන ලොකු කුඩා වැව් අමුණු 12 000ක් පමණ ඇත.

වායු දූෂණය නොමැති නම් අපට ලබා ගත හැකි පිරිසිදු ම ජලය වන්නේ වැසි ජලයයි. වැසි ජලය එක්රැස් කොට භාවිතයට ගැනීම දැන් ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් රටවල ද ක්‍රියාත්මක වේ.

19.3 a රූපය – වැසි ජලය රැස් කරන ආකාරය
19.3 b රූපය – රැස් කළ ජලය ප්‍රයෝජනයට ගැනීම

නිවෙස්වල වැසි ජලය රැස් කර භාවිතයට ගැනීමේ ක්‍රමය ස්වාභාවික ජලාශ නොමැති මාලදිවයින වැනි කුඩා දූපත් වැසියන්ට ඉතා වැදගත් වේ.

වියළි කලාපයේ කෘෂිකර්මයේ දී ජලය අරපිරිමැසීම සඳහා වගා කරන ශාක අසල මැටි කළයක් වළලා එයට ජලය දමා වසා තබනු ලැබේ.
මෙම ක්‍රමය ඔබේ ගෙවත්තේ ද ක්‍රියාත්මක කර බලන්න.
ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතය සිදු නොකළහොත් ලෝකයේ ජනතාවට පිරිසිදු ජලය සොයා ගැනීමට නොහැකි වන දිනය වැඩි ඈතක නොවන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

19.4 රූපය – කෘෂිකර්මයේ දී ජලය පිරිමැසීම

දැන් අපි තවත් ස්වාභාවික සම්පතක් වන ඛනිජ හා පාෂාණ පිළිබඳව සොයා බලමු.