අප පාසලේ ප්‍රියතම සිසු හමුව වන්නේ බෞද්ධ ශිෂ්‍ය සංගමයයි. එහි සාමාජිකත්වය දරන සිසු සිසුවියෝ ශික්ෂාකාමී වෙති; විනය ගරුක වෙති. ඔවුන්ගේ අනාගතය හැඩ ගැස්වීමෙහිලා එයින් සිදු වන මෙහෙය අපමණ ය. සෑම මසක ම පුන්පොහෝ දිනට පෙර දින බෞද්ධ සංගමය රැස්වීම සිරිතකි. එහි දී දහම් කරුණු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත් වේ. පසු ගිය සඳුදා වෙසක් පුන්පොහෝ දිනට පෙර දිනය විය. එදින පාසලේ ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් නියමිත ධර්ම සාකච්ඡාව මෙහෙයවන ලදි.
ස්වාමීන් වහන්සේ :–
බෝසත් දුවේ, පුතේ, මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෲන් වහන්සේ ලොව්තුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේයි. මීට වසර 2600කට ඉහත සිදුහත් බෝසතාණන් බුදු බව ලැබුවා. එදින බුද්ධ, ධම්ම යන රත්න දෙක ලොව පහළ වූ බව ඔබ දන්නවා. ඒ වාගේම ඇසළ පුන් පොහෝ දින සංඝ රත්නය ලොව ඇති වූ බව ද ඔබ දන්නා කරුණක්. බෞද්ධයෙකු වීමේ පළමු පියවරයි තෙරුවන සරණ යෑම. බෞද්ධයා සතු අමිල වූ මාණික්‍ය තෙරුවනයි. තෙරුවන සරණ යෑම දෙවියකු, බ්‍රහ්මයකු හෝ ගැලවුම්කරුවකුගෙන් පිහිට පැතීමට වඩා හාත්පසින් ම වෙනස් වූවක්. එහි පදනම ශ්රද්ධාවයි. තෙරුවන ගුණ දැන ඇති කර ගන්නා පැහැදීම ශ්රද්ධාවයි. ශ්රද්ධාවත් ප්‍රඥාවත් මුල්කර ගෙන අප තෙරුවන සරණ යා යුතු ය. තෙරුවන ගුණ මෙනෙහි කිරීමේ පහසුව සඳහා, ඒ අනන්ත වූ මහා ගුණ සමුදාය කැටි කර පෙන්වා දී තිබෙන බව ඔබ හොඳින් දන්නවා.
මේ සාකච්ඡාව ඔබට බොහොම වැදගත් වේවි. මෙයට හොඳින් සවන් දෙන්න. හොඳින් සහභාගි වන්න. ඔබට ඇති වන ගැටලු විමසන්න. අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. වැරැදුණාට කමක් නැහැ. වැරැදීම තුළින් නිවැරැදි දේ අවබෝධ කර ගන්න ඉඩ ලැබෙනවා. දැන් අපි ධර්ම සාකච්ඡාව පටන් ගනිමු. බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නය ලෙස හඳුන්වන්නේ ඇයි කියල සුභා දුවට කියන්න පුළුවන් ද?
සුභා | : | බුදුරජාණන් වහන්සේ ලොව උපන් ශ්‍රේෂ්ඨතම ශාස්තෲන් වහන්සේ වන නිසා. උන් වහන්සේගේ අගය අර්ථවත් කිරීමට බුද්ධ රත්නය හෙවත් බුදු රුවන ලෙස හඳුන්වනු ලබනවා. |
ස්වාමීන් වහන්සේ | : | බුද්ධ රත්නයේ ගුණ සිහි කරන “ඉතිපිසෝ” පාඨයේ ගුණ කීයක් පෙන්වා දී තිබෙනවා ද? |
බුද්ධික | : | ගුණ රාශි, ගුණ කඳු නවය යි. |
ස්වාමීන් වහන්සේ | : | ඒ මොනවා ද? |
තාරුකා | : | අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරපුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවා. |
ස්වාමීන් වහන්සේ | : | බුදුගුණ කියවෙන ඒ පදවල තේරුම මේ දරුවෝ දන්නවා ද? |
සිසුන් | : | එහෙමයි, ස්වාමීන් වහන්ස. |
ස්වාමීන් වහන්සේ | : | බුදුගුණ ඔබේ ජීවිතයට ආදර්ශයක් කර ගන්න පුළුවන් ද? |
බුද්ධික | : | පුළුවන්. මම කැමැති ම ‘අරහං’ ගුණයට. |
ස්වාමීන් වහන්සේ | : | බොහොම හොඳයි. අපි බලමු ‘අරහං’ ගුණයේ අර්ථය. |
බුද්ධික | : | බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් ද, රහසින් වත් පව් නොකළ හෙයින් ද සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හෙයින් ද “අරහං” නම් වන සේක. |
ස්වාමීන් වහන්සේ | : | බොහොම හොඳයි දුවේ, පුතේ, කෙලෙස් කියන්නේ සිතේ කිලිටි ගති, දුර්වලතා. පෘථග්ජන සියලු දෙනා තුළ ම දුර්වලතා තිබෙනවා. මොනවා ද මේ කෙලෙස් – දුර්වලතා? |
සේපාලිකා | : | ලෝභ, ද්වේශ, මෝහ සහ ඒවා මුල් කරගත් පවිටු සිතිවිලි. |
බුද්ධික | : | ඉවසීම නොමැතිකම. |
සුනීතා | : | ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය හා පළිගැනීම වගේ දේවල්. |
ස්වාමීන් වහන්සේ | : | පිළිතුරු නිවැරැදි යි; ඔය සියලු ම දුර්වලතා අප තුළ පවතිනවා. තවත් විදියකට කියනවානම් ඒවා අපට වැළඳෙන රෝග. අප තුළ ඇති මේ රෝග පාලනය කර ගත හැකි නම්, පව් කරන්නට අප පෙළඹෙන්නේ නැහැ. අවංක ව ම කෙලෙස් පාලනය කර ගන්න ඕනෑ. අප කරන කියන සියල්ල පිරිසිදු දිය බඳුනක් වගේ විනිවිද පෙනෙන්නට ඕනෑ. පව් නොකරන අය සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. රහසින් වත් පව් නොකරනවා යනු අවංක වීමයි. එවැනි අය ගැන සමාජයේ විශ්වාසය ගොඩනැගෙනවා. එබඳු උතුමන් ගෞරවයට පාත්‍ර වෙනවා. පූජාවට සුදුසු වෙනවා. සැලකිලි, සත්කාර, සම්මාන ලබාගන්න අපි කැමැතියි. එහෙත් මේවාට සුදුසු කෙනා කවුද යන්න හොඳින් සිතා බැලිය යුත්තක්. ඔබ හැඳින්වූ කෙලෙස් ක්‍රමයෙන් අඩු කර ගෙන කටයුතු කළ හැකි නම් “අරහං” ගුණය ඔබේ චරිතයට එකතු කර ගත හැකියි. ඔය දරුවෝ දන්නවනේ බුදුගුණාලංකාරය කියන පොත ගැන. අරහං බුදු ගුණය බුදුගුණාලංකාරයේ දී කවියෙන් කියල තියෙන්නේ මෙහෙමයි.
රහසත් පව් නොකොට කෙලෙසරයනුත් දුරු කොට නිසි වූයෙන් පුදට අරහ යන නම කියති මුනිඳුට |
බුද්ධික | : | බුදුගුණ නවය ම අපට ආදර්ශයට ගන්න පුළුවන් නේ ද අපේ හාමුදුරුවනේ? |
ස්වාමීන් වහන්සේ | : | ඔව්. බුදුගුණ නවයක් නොවෙයි, ගුණ රාශි නවයක්. බුද්ධ රත්නයේ ගුණ අනන්තයි. බුදුගුණ චරිතායනය කිරීමෙන් සිසුන් වන ඔබටත්, ගුරුවරුන් වන අපටත් අප තුළ ඇති වෙන දුර්වලතා පාලනය කර ගත හැකි යි. ඔබ හිතනව ද එහෙම කරන්න පුළුවන් කියල? |
කරුණා | : | එහෙමයි අපේ හාමුදුරුවනේ. |