තාරක | : | බුද්ධ රත්නය, ධර්ම රත්නය වගේ ම සංඝ රත්නයත් අපට බොහොම වටිනව නේ ද ස්වාමීන් වහන්ස? |
ස්වාමීන් වහන්සේ | : | තාරකට එහෙම හිතෙන්නේ ඇයි? |
තාරක | : | සංසාරගත දුකින් එතෙර වීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන් කරන ආර්ය ශ්‍රාවක පිරිසක්නෙ, මහා සංඝ රත්නය. |
සේපාලි | : | ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට පවත්වා ගෙන ඒමෙන් මහා සංඝ රත්නය විශාල වගකීමක් ඉටුකර තිබෙනවා. දැනටත් ඒ වගකීම ඉටු කරනවා. |
ස්වාමීන් වහන්සේ | : | බොහෝම හොඳයි. එහෙම නම් අපි ඊළගට මහා සංඝ රත්නයේ ගුණ විමසා බලමු. සුපටිපන්නෝ පාඨය ඒ සඳහා උදවු කර ගනිමු. එයට අනුව ගුණ කීයක් තිබෙනවා ද? |
බුද්ධික | : | සඟගුණ නවයයි අපේ හාමුදුරුවනේ. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඤායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ, ආහුනෙයියෝ, පාහුනෙයියෝ, දක්ඛිණෙයියෝ, අංජලිකරණීයෝ, අනුත්තරංපුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස |
ස්වාමීන් වහන්සේ | : | බොහෝම හොඳයි, සේපාලි කියන්න බලන්න ‘සුපටිපන්නෝ’ ගුණය කියන්නේ කුමක් ද කියලා. |
සේපාලි | : | මහා සංඝ රත්නය මනා වූ පිළිවෙත් පුරන නිසා ‘සුපටිපන්න’ නමින් හඳුන්වනවා. |
ධම්මික | : | පිළිවෙත් කියන්නේ ප්රතිපත්තිනෙ. මනා වූ පිළිවෙත් කියන්නේ අපේ හාමුදුරුවනේ? |
ස්වාමීන් වහන්සේ | : | දරුවනේ මහා සංඝරත්නය රකින ප්‍රතිපත්ති සියලු දෙව් මිනිසුන් රකින ප්‍රතිපත්තිවලට වඩා උසස්. සඟරුවන සාමනේර කාලයේ දී සාමනේර සීලය රකිනවා; උපසම්පදා වුණාට පස්සේ උපසම්පදා සීලය රකිනවා; බොහෝ විනය ශික්ෂාවන් රකිනවා; භික්ෂූන් වහන්සේලාගේ දෛනික කාර්යයන් සිදු වෙන්නේ විනය ශික්ෂාවන්ට අනුකූල ව. මනා වූ පිළිවෙත් කියන්නේ මෙන්න මේ ප්‍රතිපත්ති මාලාව. නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා වූ පිළිවෙත් රකින බැවින් සඟ රුවන සුපටිපන්න නම් වෙනවා. මෙය සංඝ රත්නයට සුවිශේෂී වූ ගුණයක්. |