සංඝ රත්නයේ ගුණ සිසු දිවියට

කරුණා : ඒවා ගිහි අපට සම්බන්ධ වන්නේ කොහොම ද ස්වාමීන් වහන්ස?
ස්වාමීන් වහන්සේ : පාසල් සිසුන් වන ඔබට රැකිය හැකි ප්‍රතිපත්ති රාශියක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් ගිහියාට අයත් නිත්‍ය සීලය වන පඤ්ච සීලය ආරක්ෂා කිරීමෙන් නිවසේ සතුට සමගිය රැකෙනවා වගේ ම ජීවිත ආරක්ෂාව, දේපළ ආරක්ෂාව, පවුල් ජීවිතයේ ශිෂ්ටත්වය, විශ්වාසය, මනා සිහි බුද්ධිය හා සෞඛ්‍ය ආරක්ෂාව ඇති වන බව ඔබ දන්නවා. එපමණක් ද නොවේ, ආජීව අෂ්ටමක සීලය, ගෘහස්ථ දසසීලය ආදියත් ගිහියෙකුට රැකිය හැකි ප්‍රතිපත්ති. පාසල් දරුවන් වූ ඔබ කුමර බඹසර, කුමරි බඹසර රැකීම ද ඉතා ම හොඳ ප්‍රතිපත්තියක්. මවුපියන්ට, ගුරුවරුන්ට ඒ වගේ ම වැඩිහිටියන්ට කීකරු වීමත් හොඳ පිළිවෙතක්.
සුභා : සුපටිපන්න වූ සංඝ රත්නය රැක ගැනීමේ වගකීම තිබෙන්නේ ගිහි දායකයින්ට නේ ද ස්වාමීන් වහන්ස?
ස්වාමීන් වහන්සේ : බොහෝම හරි. ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කොට පවත්වා ගෙන යාමෙන් මහ සඟරුවන විසින් විශාල වගකීමක් ඉටුකරනු ලබනවා. ගිහි පින්වතුන් උන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත ව ක්‍රියා කළ යුතු යි. සංඝ රත්නය ගෞරවනීය ව, සමීප ව ඇසුරු කරමින් සඟගුණ ඇසුරින් ජීවිතාදර්ශ ලබා ගන්නවා වගේ ම ශාසනික වචන ද භාවිත කරමින් උන් වහන්සේලා ඇසුරු කළ යුතුයි.
කරුණා : තෙරුවනෙහි සූවිසි ගුණ ම අපට චරිතායනය කළ හැකියි නේ ද ස්වාමීන් වහන්ස?
බුද්ධික : සූවිසි ගුණ ආදර්ශයට ගෙන ක්‍රියා කළ හොත් සැබැවින් ම අපට බෝසත් දරුවන් විය හැකියි.
ස්වාමීන් වහන්සේ : ඔව්, පින්වත් දරුවනේ, අවබෝධයෙන් යුතු ව දෛනික ව තෙරුවන වන්දනයෙහි යෙදීමෙන් ඔබේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය වෙනවා. ජීවිතයත් සාර්ථක වෙනවා.බුද්ධිකගේ අදහසේ හැටියට බෝසත් දරුවන් වීමේ භාග්‍යය එවිට ඔබට ලැබේවි. තෙරුවන ගුණ සඳහන් පාඨ සජ්ඣායනා කිරීම යාඥා කිරීමක් නොවේ. එය ශ්‍රද්ධාවෙන් කළ යුත්තක්. එයින් සරණක් ලැබෙන්නේ, එම පාඨ මගින් පෙන්වා දෙන අර්ථ තේරුම් ගෙන, අනුගමනය කිරීමෙන් බව හොඳට සිහි තබා ගන්න.
ධම්මික : ඉස්සර මිනිස්සු ස්වභාවික වස්තු සරණ ගියේ අනවබෝධය නිසා නේ ද ස්වාමීන් වහන්ස?
ස්වාමීන් වහන්සේ : බොහොම හරි. ඒවා සරණ යාමෙන් පුද්ගලයාට සංසාරගත දුකින් මිදිය නොහැකියි. එබැවින් එම සරණ යාම උතුම් සරණ යාමක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය සත්‍යය අවබෝධ කර ගෙන සම්පූර්ණයෙන් ම දුකින් එතෙර වීමේ මංපෙත් විවර වනුයේ තෙරුවන සරණ යෑමෙන් පමණයි. එබැවින් තෙරුවන සරණ යෑම උතුම් සරණ යෑමක් බව ධම්මපද ගාථාවකිනුත් පෙන්වා දී තිබෙනවා. අද අපේ බෞද්ධ සංගමයේ බෝසත් දරුදැරියන් වටිනා ධර්ම සාකච්ඡාවක යෙදුණා. තෙරුවනෙහි සූවිසි ගුණ හඳුනා ගත්තා. සාකච්ඡාවට හොඳින් සහභාගි වුණා. උතුම් වෙසක් පුන්පොහෝ දිනය හෙට උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බවයි. ප්‍රතිපත්තිගරුක සමාජයක් ගොඩනැගීමේ භාර දූර වගකීම ඔබ සතුයි. තෙරුවනෙහි ගුණ සුවඳ සිතෙහි දරා ගෙන හෙට දවස පුරාවට ම ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙන්න. මියයන තුරාවට තෙරුවන ගුණ අනුව හැඩ ගැසෙන්න. ශ්‍රද්ධාවෙන් යුතු ව එසේ ක්‍රියා කිරීමෙන් ඔබට රත්නත්‍රයේ පිහිට ලැබෙනවා. මේ සෑම දෙයකින් ම අප බලාපොරොත්තු වන්නේ සිත් සතන් පිරිසිදු කර ගැනීමත්, පිං රැස් කර ගැනීමත්, අවසානයේ දී නිවන් සුවය ලබා ගැනීමත් බව ඉගෙන ගන්න. ඒ අනුව ඔබේ ගුරු දෙගුරු පින්වත් සැමටත්, බෝසත් දරුවන්ටත් වෙසක් පුන් පොහෝ දිනයේ ඔබ සිදු කරන කුසලානුභාවයෙන් මෙලොව පරලොව සෙතක් ම වේවා! තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සැප ලබා ගැනීමට භාග්‍යය උදා වේවා! යි ප්‍රාර්ථනා කරමු.