ධර්ම රත්නය

කරුණා : අපේ හාමුදුරුවනේ, ධර්ම රත්නයේ ගුණත් අපට ආදර්ශයට ගන්න පුළුවන් නේ ද ?
ස්වාමීන් වහන්සේ : බොහොම හොඳ ප්‍රශ්නයක්. කරුණාගේ උනන්දුවත් අගය කරන්න ඕනෑ. ධර්ම රත්නයේ ගුණ කියවෙන පාඨයත් දන්නව ද ඔය දරුවො.
තාරක : එහෙමයි ස්වාමීන් වහන්ස. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සන්දිට්ඨිකෝ, අකාලිකෝ, ඒහි පස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.
ස්වාමීන් වහන්සේ : ඒ පාඨයට අනුව දහම්ගුණ කීයද ?
සේපාලිකා : හයයි ස්වාමීනි, මට ඒ ගුණ හයේ ම තේරුම කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ : බොහොම හොඳයි. තේරුම දැන ගත්තට මදි. එම ගුණ ඇසුරින් ඔබ තුළ ගුණ දහම් වර්ධනයක් ඇති කර ගන්නටත් ඕනෑ. පළමු ව අපි සන්දිට්ඨිකෝ ගුණය විමසා බලමු.
සේපාලිකා : තමා විසින් ම පිළිපැද ඇස් පනාපිට මෙලොව දී ම ප්‍රතිඵල දැක ගත හැකි බැවින් ධර්මය සන්දිට්ඨිකයි.
ස්වාමීන් වහන්සේ : එම ගුණය ඇසුරින් ඔබ තුළ ගුණ දහම් වර්ධනය කර ගන්නේ කොහොම ද?
තාරක : වැඩිහිටි අවවාද අනුශාසනා පිළිපැදීමෙන්.
බුද්ධික : හොඳින් පාඩම් කර විභාගයට නිවැරැදි පිළිතුරු ලිවීමෙන්.
ධම්මික : නිවැරැදි සිරිත් පිළිපැදීමෙන්.
බුද්ධික : සාරධර්ම අනුව හැඩ ගැසීමෙන්.
ස්වාමීන් වහන්සේ : බොහොම හොඳයි දරුවනේ. ඔබ හොඳ බුද්ධිමත් පිරිසක්. නිතිපතා දහම් පාසල් යාමෙන් දහම්ගුණ ජීවිතයට එක් කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ආමිසයට වඩා ප්‍රතිපත්තිය උතුම් බවයි. ඔබේ පිළිතුරු සියල්ල ම පිළිපැදිය යුතු කරුණු. හිතට එකඟ ව ඒ අනුව කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකි යි. ඔබ යහපතෙහි හැසිරෙනවා නම්, ඔබට යහපත් ප්‍රතිඵල අත් දකින්න පුළුවන්. සඳුන් ගස කපන්න කපන්න සුවඳයි. ඒ වගේ නිවැරැදි දේ පිළිගැනීමෙන් තමාට ම හොඳ ප්‍රතිඵල මෙලොව දී ම ලබා ගන්න පුළුවන්. මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නූතන විද්‍යා ඥානයත් අභිබවා ගොස් තිබෙනවා. විමසුම් නුවණින් යුතු ව ධර්මය හදාරන විට අපට ම එය වටහා ගන්න පුළුවන්.
කරුණා : බුදුගුණ වගේ ම ධර්ම රත්නයේ ගුණත් අනන්තයි නේ ද ස්වාමීන් වහන්ස?
ස්වාමීන් වහන්සේ : බොහොම හරි. බුදුරජාණන් වහන්සේ විසින් ම තම ගුරු තනතුරෙහි ‘ධර්ම රත්නය’ තබා ගැනීමෙන් එහි තිබෙන සුවිශේෂත්වය පැහැදිලි වෙනවා. දහම්ගුණ සිහිපත් කරමින් එම ගුණ ඇසුරින් ඔබේ ගුණ නැණ දියුණු කර ගන්න උත්සාහ කරන්න. එවිට ඔබ සාරධර්ම රකින දරුවෙකු වේවි.