අකුණු අනතුරු වළක්වා ගැනීම

අකුණු අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපාය කිහිපයක් පහත දැක්වේ.

● උස් ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම හා ඒවා නිසි ලෙස නඩත්තු කිරීම.
● නිවෙස්වල විද්‍යුත් පරිපථයේ භූගත රැහැන් නිසි පරිදි යොදා තිබීම.
● අකුණු ඇති විය හැකි අවස්ථාවල දී සියලු විදුලි උපකරණ, පේනු කෙවෙනිවලින් ගලවා තැබීම.
● අකුණු ඇති විය හැකි අවස්ථාවල දී රූපවාහිනී ඇන්ටෙනා රැහැන්, රූපවාහිනී යන්ත්‍රයෙන් විසන්ධි කර නිවෙසින් පිටතට දැමීම.
● එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ දී, අකුණු ඇතිවුවහොත් ආරක්ෂා විය හැකි ස්ථාන කලින් හඳුනා ගෙන තිබීම.

17.12 රූපය අකුණු සන්නායකය

අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම

අකුණු ඇති විය හැකි අවස්ථාවල දී පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය.

● එළිමහන් ස්ථාන වන ක්‍රීඩාපිටි, තේ වතු, කුඹුරු ආදියේ නොසිටීම
● උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කිරීමෙන් වැළකීම
● එළිමහන් ස්ථානයක සිටීමට සිදුවේ නම් දෙපා ආසන්නව තබා පහත් වී සිටීම
● වියළි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම
● වෘක්ෂ මත හෝ උස් බිම්වල නොසිටීම
● ගසක් අසල සිටීමට සිදුවේ නම් අතු විහිදී ඇති සීමාවෙන් ඉවත සිටීම
● කොඩි කණු, ලෝහ දැල්, කම්බි වැටවල් ආදියෙන් ඈත්ව සිටීම
● ශරීරයේ උස අඩු වන පරිදි වාඩි වී හෝ ඇඳක දිගා වී සිටීම
● විවෘත බෝට්ටුවක සිටී නම් වාඩි වී සිටීම
● රැහැන් සහිත දුරකථන භාවිතය හැකිතාක් සීමා කිරීම
● විදුලි ඉස්ත්‍රික්ක, ශීතකරණ, විදුලි උඳුන් ආදිය පරිහරණයෙන් වැළකීම.

අකුණකින් ආරක්ෂා වීමට හොඳ ම ස්ථානය, වීදුරු වැසූ වාහනයක් ඇතුළත ය. එහි ලෝහ කොටස්වල ස්පර්ශ නොවී සිටිය යුතු ය.
අකුණු අනතුරකට ලක් වූවකු ස්පර්ශ කිරීමෙන් ඔබට කිසිදු අනතුරක් සිදු නො වේ.

17.13 රූපය – අකුණු අවස්ථාවක දී එළිමහනේ නොසිටිය යුතු ය
17.14 රූපය – අකුණු අවස්ථාවල දී රැහැන් සහිත දුරකථන භාවිත නොකිරීම

අකුණු අනතුරකට ලක් වූවෙකු සඳහා ප්‍රථමාධාර

● අකුණු අනතුරකින් අත්පා හිරිවැටී ඇත්නම් සම්බාහනය (Massage) කර ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න.
● ශ්වසනය නැවතී ඇත්නම් කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න.
● හෘද ස්පන්දනය නැවතී ඇත්නම් හෘද සම්බාහනය සිදු කරන්න.
කෘත්‍රිම ශ්වසනය හා හෘද සම්බාහනය පුහුණු වී සිටීම ඉතා වැදගත් ය. එය ඔබට කෙදිනක හෝ ප්‍රයෝජනවත් වනු ඇත.
● රෝගියා හැකි ඉක්මනින් රෝහලකට ගෙන යන්න. රෝහලට ගෙන යන අතරතුර ද ප්‍රථමාධාර ලබා දෙන්න.