අකුණු හා ගිගුරුම් හඬ

පෘථිවි අකුණක වෝල්ටීයතාව වෝල්ට් මිලියන 10ක් පමණ වේ. එහි දී ඇම්පියර් 25 000 පමණ ධාරාවක් ගලා යයි. නිවෙසක භාවිත වන LED පහනක වෝල්ටීයතාව, වෝල්ට් 230ක් වන අතර එය තුළින් ගලා යන ධාරාව ඇම්පියර් 0.1කටත් වඩා අඩු ය. ඒ අනුව අකුණු පහරක වෝල්ටීයතාව හා ධාරාව කොතරම් අධික ද යන්න ඔබට වැටහෙනු ඇත.
මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් ඉතා කෙටි කාලයක් (මිලි තත්පර 10ක් පමණ) තුළ දී වාතය හරහා ගලා යන විට වාතයේ ඉතා අධික උෂ්ණත්වයක් හට ගනී. එම උෂ්ණත්වය 30 000 0 ක්‍ පමණ වේ. එනම්, සූර්යයාගේ මතුපිට ඇති උෂ්ණත්වය මෙන් පස් ගුණයකි.
අකුණෙහි අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය, ක්ෂණිකව ප්‍රසාරණය වේ. (රතිඤ්ඤා පිපිරීමේ දී ද වාතය ක්ෂණිකව ප්‍රසාරණය වේ.) මෙසේ වාතය ක්ෂණිකව ප්‍රසාරණය වන විට ඇතිවන කම්පනය නිසා ධ්වනි තරංගයක් හට ගනී. ධ්වනි තරංගය ඇති වීම යනු ගිගුරුම් හඬ ඇතිවීමයි.
අකුණක දී ආලෝකය හා ධ්වනිය එකවර නිකුත් වේ. නමුත් ආලෝකය පළමුව පෙනී ශබ්දය පසුව ඇසේ. මෙයට හේතුව ආලෝකයේ වේගය ශබ්දයේ වේගයට වඩා බෙහෙවින් වැඩි වීම ය.

විදුලි කෙටීමේ දී ආලෝකය නිරීක්ෂණය කළ තැන සිට ශබ්දය ඇසීමට ගත වන කාලය මැන ගත හොත් විදුලි කෙටීම සිදු වූයේ කොපමණ දුරින් දැයි දළ වශයෙන් ගණනය කළ හැකි ය.

විදුලි පුළිඟුවක් ඇති කිරීම සඳහා ගුරුතුමාගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරකම 17.2හි නිරතවන්න.

ඉහත ක්‍රියාකාරකමෙහි දී ඔබ විදුලි පුළිඟුවක් නිරීක්ෂණය කරන්නට ඇත. එහි දී ආලෝකය හා ශබ්දය ඇති වූ බව ද ඔබ නිරීක්ෂණය කරන්නට ඇත. එම විදුලි පුළිඟුවේ දිග මිලිමීටර කිහිපයක් හෝ සෙන්ටිමීටර කිහිපයක් පමණකි. නමුත් අකුණු පහරක දී හට ගන්නා විදුලි පුළිඟුවේ දිග, කිලෝමීටර ගණනාවක් විය හැකි ය. ඒ අනුව හට ගන්නා ගිගුරුම් හඬ ද අධික විය යුතු බව ඔබට වැටහෙනු ඇත.