අකුණු අනතුරු වළක්වා ගැනීමට ගත හැකි පූර්වෝපාය කිහිපයක් පහත දැක්වේ.
● උස් ගොඩනැගිලි සඳහා අකුණු සන්නායක සවි කිරීම හා ඒවා නිසි ලෙස නඩත්තු කිරීම.
● නිවෙස්වල විද්‍යුත් පරිපථයේ භූගත රැහැන් නිසි පරිදි යොදා තිබීම.
● අකුණු ඇති විය හැකි අවස්ථාවල දී සියලු විදුලි උපකරණ, පේනු කෙවෙනිවලින් ගලවා තැබීම.
● අකුණු ඇති විය හැකි අවස්ථාවල දී රූපවාහිනී ඇන්ටෙනා රැහැන්, රූපවාහිනී යන්ත්‍රයෙන් විසන්ධි කර නිවෙසින් පිටතට දැමීම.
● එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ දී, අකුණු ඇතිවුවහොත් ආරක්ෂා විය හැකි ස්ථාන කලින් හඳුනා ගෙන තිබීම.
අකුණු ඇති විය හැකි අවස්ථාවල දී පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු ය.
● එළිමහන් ස්ථාන වන ක්‍රීඩාපිටි, තේ වතු, කුඹුරු ආදියේ නොසිටීම
● උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කිරීමෙන් වැළකීම
● එළිමහන් ස්ථානයක සිටීමට සිදුවේ නම් දෙපා ආසන්නව තබා පහත් වී සිටීම
● වියළි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍ය මත සිටීම
● වෘක්ෂ මත හෝ උස් බිම්වල නොසිටීම
● ගසක් අසල සිටීමට සිදුවේ නම් අතු විහිදී ඇති සීමාවෙන් ඉවත සිටීම
● කොඩි කණු, ලෝහ දැල්, කම්බි වැටවල් ආදියෙන් ඈත්ව සිටීම
● ශරීරයේ උස අඩු වන පරිදි වාඩි වී හෝ ඇඳක දිගා වී සිටීම
● විවෘත බෝට්ටුවක සිටී නම් වාඩි වී සිටීම
● රැහැන් සහිත දුරකථන භාවිතය හැකිතාක් සීමා කිරීම
● විදුලි ඉස්ත්රික්ක, ශීතකරණ, විදුලි උඳුන් ආදිය පරිහරණයෙන් වැළකීම.
අකුණකින් ආරක්ෂා වීමට හොඳ ම ස්ථානය, වීදුරු වැසූ වාහනයක් ඇතුළත ය. එහි ලෝහ කොටස්වල ස්පර්ශ නොවී සිටිය යුතු ය.
අකුණු අනතුරකට ලක් වූවකු ස්පර්ශ කිරීමෙන් ඔබට කිසිදු අනතුරක් සිදු නො වේ.
● අකුණු අනතුරකින් අත්පා හිරිවැටී ඇත්නම් සම්බාහනය (Massage) කර ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න.
● ශ්වසනය නැවතී ඇත්නම් කෘත්‍රිම ශ්වසනය ලබා දෙන්න.
● හෘද ස්පන්දනය නැවතී ඇත්නම් හෘද සම්බාහනය සිදු කරන්න.
කෘත්‍රිම ශ්වසනය හා හෘද සම්බාහනය පුහුණු වී සිටීම ඉතා වැදගත් ය. එය ඔබට කෙදිනක හෝ ප්‍රයෝජනවත් වනු ඇත.
● රෝගියා හැකි ඉක්මනින් රෝහලකට ගෙන යන්න. රෝහලට ගෙන යන අතරතුර ද ප්‍රථමාධාර ලබා දෙන්න.