අකුණු භූ ගත වන ආකාර

මිනිසුන්ට, සතුන්ට හෝ ගොඩනැගිලිවලට හෝ හානි කර වන පරිදි අකුණු භූගත වන ආකාර හතරක් ඇත.

  • ඍජු අකුණු
  • පාර්ශ්වික අකුණු
  • ස්පර්ශ අකුණු
  • පියවර අකුණු

ඍජු අකුණු

තැනිතලා බිමක හුදකලා වූ මිනිසෙකුට, ගසකට හෝ ගොඩනැගිල්ලකට අකුණක් වැදීම ඍජු අකුණක් නම් වේ. මිනිසෙකුට ඍජු අකුණක් වැදුන හොත් අකුණු විදුලි ධාරාව මිනිසා තුළින් පොළොවට ගලා යාම නිසා හානිය බරපතල විය හැකි ය.

17.8 රූපය – ඍජු අකුණු

පාර්ශ්වික අකුණු

17.9 රූපය පාර්ශ්වික අකුණ

උස් ගොඩනැගිල්ලකට හෝ ගසකට හෝ වැදුණු අකුණු පහරක් එය දිගේ පොළොවට ගමන් කරන අතර ඉන් ඉවතට පැන ඒ අසල සිටින මිනිසෙකුගේ ශරීරය දිගේ පොළොවට ගමන් කළ හැකි ය.
මෙසේ වීමට හේතුව මිනිසෙකුගේ ශරීරය ඔස්සේ අකුණු විදුලි ධාරාව ගමන් කිරීම, ගසක් හෝ ගොඩනැගිල්ලක් තුළින් ගමන් කිරීමට වඩා පහසු වීම ය.

ස්පර්ශ අකුණු

අකුණු ඇති වන අවස්ථාවක දී ගෘහස්ථ විදුලි උපකරණ ස්පර්ශ කිරීම හෝ රැහැන් සහිත දුරකථන භාවිත කිරීම නිසා අකුණක් වැදීම, ස්පර්ශ අකුණක් නම් වේ.
අකුණු ඇති වන අවස්ථාවක ගසක් සමග ස්පර්ශව සිටීම නිසා ගසට වැදුණු අකුණක් මිනිසෙකුට වැදීම ද ස්පර්ශ අකුණකි.

17.10 රූපය ස්පර්ශ අකුණු

පියවර අකුණු

17.11 රූපය පියවර අකුණු

ගොඩනැගිල්ලකට, ගසකට හෝ පොළොවට අකුණක් වැදුණු විට එහි විදුලි ධාරාව එම ස්ථානයේ සිට පොළොව දිගේ සෑම දිශාවකට ම විහි දී යයි. එසේ විහිදී යන සීමාව තුළ මිනිසකු හෝ සතෙකු සිටින්නේ යයි සිතමු. එම මිනිසාගේ හෝ සත්ත්වයාගේ එක් පාදයකින් ඇතුළු වූ විදුලි ධාරාව, අනෙක් පාදයෙන් පිට වී යයි. මෙම සිද්ධිය, පියවර අකුණ නම් වේ.
දෙපා අතර දුර වැඩි වූ විට විභව අන්තරය ද වැඩි වන බැවින් ගලා යන ධාරාව ද වැඩි වේ. අකුණු අවස්ථාවක දී පාදෙක ළංව තබා ගෙන සිටීම වඩා සුදුසු වන්නේ එබැවිනි.
තව ද පියවර අකුණු මගින් මිනිසෙකුට වඩා ගවයෙකුට සිදු වන හානිය වැඩි ය. ඊට හේතුව ගවයාගේ ඉදිරි පාදය හා පසු පාදය අතර දුර, මිනිසෙකුගේ දෙපා අතර දුරට වඩා වැඩිවීමයි. එවිට විභව අන්තරය ද වැඩි වී ගවයා තුළින් ගලා යන විදුලි ධාරාව ද වැඩි වේ. එමගින් හානිය වැඩි වේ.

මෙම පාඩමේ මුලින් දැක්වූ පුවත්පත් වාර්තා අනුව අකුණු මගින් මිනිසුන්, සතුන් හා දේපළවලට ද විශාල හානි සිදු වන බව ඔබට පැහැදිලි වන්නට ඇත.
එබැවින් අකුණු මගින් සිදු වන හානි අවම කිරීම සඳහා ක්‍රමෝපාය යෙදිය යුතු වේ.