බෞද්ධයින් විසින් මිය ගිය තම නෑදැ හිතවතුන් වෙනුවෙන් සිදු කරන අවසාන චාරිත්‍රය අවමංගල උත්සවය හා බැඳී තිබේ. පළාත් අනුව වෙනස්කම් පැවතුණ ද වඩාත් නිවැරැදි චාරිත්‍ර ඉටුකිරීම බෞද්ධ ලක්ෂණයයි. කිසිවකු මිය ගිය කල්හි එම නිවස ඉදිරිපිට හා මාර්ගයේ සුදු කොඩි එල්ලනු ලැබේ. රාත්‍රි කාලයෙහි සතිපට්ඨාන සූත්‍රය හෝ වෙස්සන්තර ජාතකය හෝ කියවීම පැරණි චාරිත්රයකි. අවමඟුල් නිවෙස්වල විනෝද ක්‍රීඩා කිරීම චාරිත්‍රය නොවේ.
මළගෙදරට පැමිණෙන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසී පැමිණීම සිරිතයි. ඒ සියලු දෙනාට මද්‍යසාරවලින් තොර ආහාර පානයෙන් සංග්‍රහ කිරීම සිදුවේ. පැමිණෙන සියලු දෙනාත් අවට පදිංචි අයත් පවුලේ නෑදැ හිත මිත්‍රාදීනුත් මළගෙදර කටයුතුවලට සහභාගි වන්නේ මිය ගිය අයගේ හොඳ ගතිගුණ සිහි කරමින් කෘතවේදීත්වය ද ප්‍රකාශ කරමිනි. මෘත ශරීරය තැන්පත් කරන පෙට්ටිය අනිත්‍යතාව මෙනෙහි කරවන චාම් එකක් වීම වඩාත් සුදුසු ය.
අවශ්‍ය ම ඥාතීන් පැමිණ සිටිත් නම් දේහය පිළිබඳ අවසන් කටයුතු කල් දැමීම අවශ්‍ය නොවේ. එහි දී කෙරෙන විශේෂ ම ආගමික චාරිත්‍රය නම් පන්සලේ ස්වාමීන් වහන්සේලාට දැහැත් වට්ටියක් පිරිනමා ආරාධනා කර මතක වස්ත්‍රයක් පූජා කොට ආගමික වතාවත් ඉටු කිරීම ය. එම අවස්ථාව න්‍යාය පත්රයකට අනුව සිදු කරනු ලැබේ. එය ඉතා කෙටි, අවශ්‍ය ම කතා කිහිපයකට පමණක් සීමා වීම සැමගේ පහසුවට හේතු වේ.
වැඩමවන ලද මහා සංඝ රත්නයට දැහැත් ගිලන්පස පිරිනමා පන්සිල් සමාදන් වීමෙන් ආගමික කටයුතු ආරම්භ වේ. අනතුරුව මතක වස්ත්‍රය පූජා කරන අතර උන් වහන්සේලා විසින් “අනිච්චා වත සංඛාරා” ආදි අනිත්‍යාව ප්‍රකාශ වන ගාථා සජ්ඣායනා කරනු ලැබේ. දාන, ශීල, භාවනා වශයෙන් රැස්කර ගත් පින් මිය ගිය ඥාතියාට අනුමෝදන් කරවන්නේ පැන් වඩමිනි. ස්වාමීන් වහන්සේ නමක් විසින් ධර්ම අනුශාසනාවක් පවත්වනු ලැබේ. ගමේ සියලු සමිති සමාගම් හා ඥාතීන් වෙනුවෙන් සිදු කරන ගුණ කථනයකින් පසු ව ස්තුති කතාවක් පවත්වා වැඩමවූ සංඝ රත්නයටත් පැමිණි සැමටත් ස්තුති කිරීමෙන් සභාව නිමාවට පත් කෙරේ.
දේහය සුසාන භූමිය කරා රැගෙන යන පෙරහර ද සරල, චාම්, ඝෝෂාකාරී නොවන අයුරින් පැවැත්වීම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට උපකාරී වේ. භූමදානය හෝ ආදාහනය හෝ පිළිබඳ විවිධ සිරිත් විරිත් පවතින නමුත් ඒ සියල්ල සරල ව, චාම් ව එසේ ම පිළිවෙළකට සිදු කිරීම බුද්ධිගෝචර ය. යමකුගේ අභාවයෙන් දින හතක් ගත වන විට ධර්ම දේශනාවක් පවත්වා මහා සංඝ රත්නයට දන් පිළිගන්වා, පැන් වඩා පින් අනුමෝදන් කරවීම ද අවමංගල චාරිත්‍රවල ම කොටසකි.