විවිධ අරමුණු මූලික කරගෙන බෞද්ධයන් විසින් දානමය පින්කම් සිදු කරනු ලැබේ. එහි දී කල් වේලා ඇති ව විහාරස්ථානයට ගොස් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටියක් පිරිනමා ආරාධනා කොට දිනය වෙන් කර ගනු ලැබේ. නිවස හා අවට පරිසරය පිරිසිදු කොට මූලික අවශ්‍යතා සපුරා ගත යුතු ය. නියමිත දිනයේ දන් පැන් සකසා මුල් කොටස බුද්ධ පූජාව සඳහා විහාරස්ථානය වෙත රැගෙන යනු ලබන්නේ පුද පෙරහැරිනි. අනතුරුව සධාතුක කරඬුව සහ සංඝ රත්නය නිවස කරා පුද පෙරහැරින් වැඩමවා සඟරුවනේ පා ධෝවනය කොට පනවන ලද ආසනවල වඩා හිඳුවනු ලැබේ. සධාතුක කරඬුව තැන්පත් කරනු ලබන්නේ පනවන ලද විශේෂ බුද්ධාසනයක ය.
පන්සිල් සමාදන් වී බුද්ධ පූජා පවත්වා පිරිකර සහිත දානය සඟ සතු කොට පූජා කිරීම සිරිත ය. ඉන් පසු ව පැන් පිරිනැමීම, දානය පිරිනැමීම ආදි වතාවත් සිදු කෙරේ. පළමුවෙන් ම සියලු ම ස්වාමීන් වහන්සේලාට වැළඳිය හැකි ව්‍යඤ්ජනයක් පිරිනමා අනතුරුව සෙසු ව්‍යඤ්ජන පිරිනමන්නේ නම් මැනවි. දානය වැළඳීමට පෙර සියලු ම ස්වාමීන් වහන්සේලා හිස් භාජනයකට ලැබුණු දානයෙන් බත් පිඬක් දන්දීමක් වශයෙන් වෙන් කරති. එය සතකුගේ ආහාරය පිණිස දීම සුදුසු ය.
ඉන් පසු ව අතුරුපස සම්මත පිළිවෙළකට අනුව පිරිනමා වළඳා අවසානයේ දැහැත් වට්ටිය පිරිනැමීම චාරිත්‍රයයි. පිරිකර පූජාවෙන් පසු ව දානයේ ආනිශංස පැහැදිලි කරමින් භුත්තානුමෝදනාව නම් වූ ධර්ම දේශනාවක් පවත්වනු ලැබේ. දෙවියන්ට පිං අනුමෝදන් කරවා හිස් භාජනයකට ඉතිරී යන තෙක් පැන් වත් කරනු ලබන්නේ මිය ගිය ඥාතීහු දුක් සහිත ආත්මභාවයක් ලබා ඇත්නම් මේ භාජනය පැනින් ඉතිරී යන්නාක් මෙන් පිනෙන් සැපතට පත්වෙත්වායි ප්‍රාර්ථනා කරමිනි. මහා සංඝ රත්නය සෙත් ගාථා සජ්ඣායනා කරන්නේ අනතුරුව ය. පසු ව උන් වහන්සේලාට වැඳ අවසර ගෙන සධාතුක කරඬුවත් මහ සංඝ රත්නයත් පෙර පරිදි ම පුද පෙරහැරින් විහාරස්ථානය කරා ආපසු වැඩමවනු ලැබේ.