දස දහසක් සක්වළ බුදුරදුන්ගේ අණසක පතුරුවා පවත්වන ආරක්ෂක දේශනාව පිරිත ය. ඒ හා බැඳුණු පුරාණයේ සිට පැවත එන සිරිත් විරිත් රාශියකි. පළමු ව නිවසේ ස්වාමියා ගමේ විහාරස්ථානය කරා ගොස් දැහැත් වට්ටියක් පිරිනමා මහ සඟරුවනට ආරාධනා කොට පිරිත සඳහා දිනයක් නියම කර ගනු ලැබේ. අනතුරුව නිවස හා අවට පරිසරය පිරිසිදු කෙරේ. පින්කමට පෙර දින පිරිත් මණ්ඩපය ඉදිකෙරෙන අතර එහි දී චාම් බව මෙන් ම සෞන්දර්යය පිළිබඳ ව ද සැලකිලිමත් වේ. සතර දිශාවට දොරටු හතරක් තබා ඒ දෙපස පුන්කලස් තබා පහන් දැල්වීම සිරිත ය. ආසන 12ක් පමණ පැනවීමට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් ඇති ලෙස ඉදිකරන පිරිත් මණ්ඩපය බුද්ධ මන්දිරයක් බඳු ය.
පිරිත් පුරන ස්වාමීන් වහන්සේලා දෙනමට වැඩ සිටින්නට පනවන ආසන දෙකට පිටුපසින් අතු කීපයක් සහිත පුවක් පැළයක් තබා “රාජගහ” සකසයි. එහි යුග පුටුවට එලන ලද සුදු ඇතිරිල්ලේ ඉහළ කෙළවර අවානක හැඩයෙන් පුවක් පැළයට බැඳීමෙන් රාජගහ නිර්මාණය කෙරේ. පොල්මල් හනස්සෙන් ඉරා ගත් තීරුවලින් රවුම් දරණුවක් මෙන් සකසා ගත් ‘වලයම’ ප්‍රධාන පිරිත් හුය බැඳීම සඳහා ය. පිරිත් මණ්ඩපයේ උඩට වියන් බැඳ පුවක් මල් කිණිති, බුලත් කැන්, නාදලු, බෝ කොළ ආදිය එල්ලනු ලැබේ. මණ්ඩපයේ දොරටුව ඉදිරිපස කුටි හතරකින් යුතු ප්‍රධාන මල් පැලක් සතරවරම් දෙවියන් උදෙසා ද, ගම්භාර දෙවියන් උදෙසා මල් පැලක් ද ඉදිකරවා මල් පහන් ආදිය තැන්පත් කරවන්නේ කෙසෙල් කොළයක් ඇතිරීමෙන් පසු ව ය.
පන්සලේ නායක ස්වාමීන් වහන්සේ විසින් නියම කරන ලද වේලාවට ගෙහිමියා විහාරස්ථානයට යන්නේ බුද්ධ පූජාවට සහ ගරුතර සංඝ රත්නයට අවශ්‍ය දැහැත් ගිලන්පස ද සකසා ගැනීමෙන් පසු ව ය. හිස මත සුදුරෙදි කඩක් එලාගෙන සධාතුක කරඬුවත්, පිරුවානා පොත් වහන්සේත් වියන් යටින් හෝ මුතුකුඩ යටින් හෝ වැඩමවනු ලැබේ. ඒ තුනුරුවන් කෙරෙහි අපගේ ගෞරවය හඟවනු සඳහා ය. පංචතූර්ය නාදය පෙරටු කර ගනිමින් සාධුකාර මධ්‍යයේ තුනුරුවන් නිවස කරා වැඩමවාගෙන අවුත් ස්වාමීන් වහන්සේලාගේ පා ධෝවනය කරනු ලබන්නේ නිවසේ ප්‍රධානියා හෝ වැඩිහිටි අය හෝ විසින් අනතිමානි ගුණය ප්‍රකට කරමිනි.
චතු මධුර සහිත දැහැත් ගිලන්පස බුද්ධ පූජා පවත්වා තුනුරුවන් වන්දනා කොට මහා සංඝ රත්නයට දැහැත් ගිලන්පස පිරිනමනු ලැබේ. ඉන් පසු ව තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටා දැහැත් වට්ටිය මහා සංඝ රත්නයට පිරිනමන්නේ “ස්වාමීනී අප කෙරෙහි අනුකම්පාවෙන් පිරිත් ධර්ම දේශනාව තුන් යම රාත්‍රිය මුළුල්ලෙහි පවත්වන සේක්වා” යන ආරාධනාව කරමිනි. එහි දී ස්වාමීන් වහන්සේ නමක් විසින් විපත් දුරුකර ගැනීමට, සම්පත් උදා කර ගැනීමට, දුක්, භය, රෝග නැති කර ගැනීමට පිරිත් දේශනා කරනු මැනව යන ආරාධනා ගාථාව කියවනු ලැබේ. ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් කෙටි අනුශාසනාවක් සිදු කරන්නේ ඉන් පසු ව ය. ප්‍රධාන පිරිත් නූල හෙවත් පිරිත් හුය මණ්ඩපයේ එල්ලන ලද වලයම් හරහා ඇද එය ස්වාමීන් වහන්සේලා විසින් අල්ලා ගනු ලබයි. එයට සම්බන්ධ කරන ලද තුන්නූල් පිරිත් හුය ශ්‍රාවක පිරිස අතට දෙනු ලැබේ. මුලින් ම කෙරෙන්නේ මහ පිරිත් දේශනාව ය. ඒ වැඩමවා වදාළ සියලු ම ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙනි. දෙවනු ව දෙනමක් හෝ සිව්නමක් හෝ යුගදේශනා පවත්වා හමාර දේශනාව හෙවත් ආටානාටිය අවසානයේ සෙත්පිරිත් සජ්ඣායනාවක් සිදු කොට පිරිත අවසාන කරන්නේ සාදු නාද මධ්‍යයේ ය. පුණ්‍යානුමෝදනාව කෙළවර පිරිත් පැන් සහ පිරිත් නූල් මහ සංඝ රත්නය ද පරිභෝග කොට ලබා දෙන්නේ ආශීර්වාද පෙරටුව ය. පිරිතට වැඩි මහ සංඝ රත්නයට දන් පිරිනමන්නේ බුද්ධ පූජා පැවැත්වීමෙන් පසුව ය. අවසානයේ මහ සංඝ රත්නය ආපසු වැඩමවා පැමිණි ඥාති මිත්‍රාදීන්ට මද්‍යසාරවලින් තොර ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම හෙළ බොදු සිරිතයි.