අකුණු මගින් ඇතිවන අනතුරු පිළිබඳව 7 ශ්‍රේණියේ දී උගත් කරුණු සිහිපත් කරන්න. 17.1 රූපයේ දැක්වෙන අකුණුවලින් සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ පුවත්පත් වාර්තා කිහිපයක සිරස්තල වෙත ඔබේ අවධානය යොමු කරන්න.
අකුණු මගින් මිනිස් ජීවිත, සත්ත්ව ජීවිත හා දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදු වේ. එහෙත් ජනමාධ්‍ය මගින් වාර්තා වන්නේ සිදු වන අකුණු අනතුරුවලින් සුළු කොටසක් පමණකි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ද අකුණු මගින් ජීවිත හා දේපළ හානි සිදු වේ.
අකුණුවලින් සිදු වූ සමහර ජීවිත හානි සිදු වී ඇත්තේ අකුණු අනතුරු වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීමෙන් බව ද නිරීක්ෂණය කර ඇත.
මේ නිසා අකුණු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ.
අකුණු අනතුරු බහුලව සිදුවන කාල වකවානු ඇත. ඒ පිළිබඳ ව සොයා බැලීමට 17.1 පැවරුමෙහි නිරත වන්න.
17.1 රූපයේ දැක්වෙන පුවත්පත් වාර්තාවලට අනුව මාර්තු-අප්‍රේල් සහ ඔක්තෝබර්-නොවැම්බර් යන මාසවල අකුණු ක්‍රියාකාරිත්වය අධික බව පැහැදිලි වනු ඇත. මෙම කාලසීමා දෙක අන්තර් මෝසම් කාල සීමා ලෙස කාලගුණ විද්‍යාඥයෝ හඳුන්වති. මෙම අන්තර් මෝසම් කාලවල දී පොළොවට ආසන්න වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි ය. සුළං හැමීම අඩු ය. එවිට වායු ගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වේ. මෙලෙස ඉහළ නගින ජල වාෂ්ප සිසිල් වීම සිදු වේ. ජල වාෂ්ප සිසිල් වී වලාකුළු හටගනී. අකුණු ඇති වීම සඳහා වැඩියෙන් ම දායක වන්නේ කැටි වැහි වලාකුළු ය. මෙම කැටි වැහි වලාකුළු සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට 15 000 m පමණ ඉහළින් පිහිටා ඇත.
වලාකුළු තුළ හිම ස්ඵටික හා වලා දිය රොන් (ඉතා සියුම් ජල බින්දු) ඇත. වලාකුළු තුළින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමා යයි. මේ නිසා හිම ස්ඵටික හා වලා දිය රොන් එකිනෙක ඇතිල්ලීම සිදු වේ. මෙසේ එකිනෙක ඇතිල්ලීම මගින් හිම ස්ඵටිකවල හා වලා දිය රොන්වල ස්ථිති විද්‍යුත් ආරෝපණ හට ගනියි.
ස්ථිති විද්‍යුත් ආරෝපණ පිළිබඳව ඔබ 7 වන ශ්‍රේණියේ දී උගත් කරුණු සිහිපත් කරන්න. ධන හා ඍණ යනුවෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ දෙවර්ගයක් ඇත. කැටි වැහි වලාකුළක ඉහළ කොටසේ ධන ආරෝපණ ද පහළ කොටසේ ඍණ ආරෝපණ ද එක්රැස් වන බව සොයාගෙන ඇත.
වලාකුළ තුළ ඇති වාතය විද්‍යුත් පරිවාරකයකි. එබැවින් වාතය ඔස්සේ පහසුවෙන් විද්‍යුත් ආරෝපණ ගමන් නොකරයි. මේ නිසා වලාකුළෙහි ඉහළ හා පහළ කොටස්වල අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස් වේ. මෙලෙස අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස් වූ විට වාතය තුළින් වුව ද විද්‍යුතය ගලා යන අවස්ථාවක් එළඹේ. එවිට ආරෝපණ පැනීමක් හෙවත් විද්‍යුත් විසර්ජනයක් සිදු වේ. මෙම සිද්ධිය අකුණක් ලෙස හැඳින්වේ.
වලාකුළෙහි සිට ආරෝපණ පැනීම සිදු වන ස්ථානය අනුව අකුණු වර්ග තුනකට බෙදා ඇත.
අකුණු වර්ග තුන නිරූපණය කරන ඡායාරූප පහත දක්වා ඇත.
ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපණ සහිත වලාකුළු දෙකක් අතර හෝ සිදුවන ආරෝපණ පැනීමක් වලා අකුණක් නම් වේ.
ඇතැම් විට වලාකුළක එක්රැස් වූ විද්‍යුත් ආරෝපණ අවට වාතයට පැනීමක් සිදු වේ. එය වා අකුණක් නම් වේ.
වඩාත් ම හානි කර අකුණු වර්ගය වන්නේ පෘථිවි අකුණු ය. එය හට ගන්නා ආකාරය සොයා බලමු.
ආරෝපිත වලාකුළක් පොළොවේ යම් ස්ථානයකට ඉහළින් පවතින විට, වලාකුළෙහි පහළ කොටසේ එක් රැස් වී ඇති ඍණ ආරෝපණවල බලපෑම නිසා පොළොවේ ධන ආරෝපණ හට ගනියි.
වලාකුළෙහි සහ පොළොවෙහි ආරෝපණ ප්‍රමාණය අධික වූ විට යම් අවස්ථාවක දී වලාකුළෙහි සිට පොළොවට ඍණ ආරෝපණ පැනීමක් සිදු වේ. මෙය පෘථිවි අකුණක් නම් වේ.